එජාපය ඇතුළු සන්ධානයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නැයි තමා කිසිවිටෙකත් ඉල්ලා නොමැති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි. එවැනි ඉල්ලීමක් ලිඛිතව තමන් ඉල්ලූ බවට පළවන වාර්තා
සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්
සිදු කරමින් කතානායක කාර්යාලය මේ බව පවසා සිටී.

කරු ජයසූරිය මහතා පසුගිය 17 වැනිදා නිකුත් කළ නිවේදනය ඇතැම් පාර්ශ්ව විසින් වැරදි ලෙස තේරුම් ගෙන ඇති බවයි එම කාර්යාලය පවසන්නේ. අදාල නිවේදනය හරහා ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ලැබී ඇති බවත්, ප්‍රතිමත්තිමය කරුණු කිහිපයක් මත එම ඉල්ලීම් පිළිගන්නා බව ප්‍රකාශ කළා මිස එය ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සිදුකළ ලිඛිත ඉල්ලීමක් නොවන බවත් කතානායක කාර්යාලය අවධාරණය කරනවා.

ජයසූරිය මහතා 17 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් කියා සිටියේ තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි. එහෙත් ලැබෙන ඉල්ලීම්වලට අනුව විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා සහ නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටින පාර්ශ්වවල නියෝජිතයා ලෙස ජනාධිපතිවරණයට පැමිණිය හැකි බවයි. එහෙත් එයද සිදුවන්නේ එජාපය ප්‍රමුඛ සියලු පාර්ශ්වවල පූර්ණ එකඟතාවය මත පමණක් වන බව ද ඔහු සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේය.