වඩේ සකස් කිරීමේදී පරිප්පු අඹරන යන්ත්‍රයකට හසුව ඇඟිලි 4ක් කැඩී වෙන්වී ගිය තුවාලකරුවකුට පැය
පහක කාලයක් කරන ලද සැත්කමෙන් අනතුරුව ඇඟිලි සියල්ලම සාර්ථකව බද්ධ කිරීමට මහනුවර මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්වී තිබේ.

විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ඇතුළු වෛද්‍ය හා කාර්යාල මණ්ඩල කණ්ඩායමක්
මෙම සාර්ථක සැත්කම සිදුකර තිබේ.

අකුරණ තෙලඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි තුවාලකරු සිය ජීවිකාව බවට පත්කරගෙන ඇත්තේ
වඩේ අලෙවි කිරීමයි. ඔහු සිය පරිප්පු අරඹන
යන්ත්‍රය පොල් කුඩු යොදා පිරිසුදු කරමින්  සිටියදී
අත්වැරදීමකින් එය ක්‍රියාත්මක වී ඔහුගේ ඇඟිලි හතරක් යන්ත්‍රය තුළ සිරවී කැඩී ගොස් ඇත.

තුවාලකරු අදාළ යන්ත්‍රයද සමඟ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ අත සහ ඇඟිලි
ඉවත් කර ගැනීම ගැටලුවක් වූ බැවින් මහනුවර මහ නගර සභාවේ නාගරික ගිනි නිවීමේ ඒකකය සතු
යන්ත්‍රයක් යොදා ගනිමින් පරිප්පු අරඹන යන්ත්‍රය කැබලිවලට කපා අත හා කොටස් ඉවත් කරගෙන ඇත.

තුවාලකරුගේ මැදැඟිල්ල සහ වෙදැඟිල්ල ස්ථාන හතරකින්ද දඹරැඟිල්ල සහ සුළැඟිල්ල ස්ථාන දෙකකින්ද
කැඩී වෙන්වී ගොස් ඇති බවත් පටක හා සමට දැඩි හානියක් සිදුවූ නමුත් රුධිර නාලවලට සිදුව ඇති හානිය
අවම වීම හේතුවෙන් සාර්ථකව ඇඟිලි බද්ධ කිරීමට හැකිවුණු බවත් විශේෂඥ වෛද්‍ය අමිල සසංක රත්නායක
මහතා පවසයි.

මොහොමඩ් ෆයිසාල් නමැති තුවාලකරු මේ වනවිට මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහු
යහපත් තත්ත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා සඳහන් කරයි.

මහනුවර - නදීක දයා බණ්ඩාර