බදුලු ඔයේ දිය නෑමට ගොස් ආපසු වැඩම කරමින් සිටි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ
වැඩවසන සාමණේර ස්වාමීන් වහන්සේ පිරිසකට පන්සල් වත්තට යාබවද පිහිටි ඔය ඉවුරේ තිබී සැහැල්ලු
බරකින් යුත් විශාල ගල්ගෙඩියක් හමුවී තිබේ.

මෙය ජලයේ පාවෙන බව තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති හල්දෙන ධම්මවංස හිමියෝ පැවැසූහ.

මතුපිට කඩතොලු සහිත කළු පැහැයෙන් යුත් මෙම ගල කිලෝග්‍රෑම් දෙකක් පමණ බරින් යුතු බවද
විහාරාධිපති හිමියෝ පවසති.

ගලෙහි ප්‍රමාණයට සරිලන බරකින් යුක්ත නොවීම
නිසා කුඩා සාමණේර හිමිවරු පිරිසක් ගල රැගෙන
විහාරස්ථානය අසල පිහිටි පොකුණට දමා ඇති අතර එම ගල ජලය මත පාවෙන්නට පටන් ගෙන ඇත.

ජලයේ පාවෙන මේ අපූරු ගල දැකබලා ගැනීම සඳහා ප්‍රදේශයේ දායක දායිකාවෝ ඊයේ (05දා)
උදෑසන සිට විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇතැයි ද නායක හිමියෝ පැවසූහ. මෙය කුමන
වර්ගයේ ගලක් දැයි හරිහැටි නොදන්නා නමුත් මෙහි කිසියම් අපූර්වත්වයක් ගැබ්වී ඇති බව තමුන්ට හැඟී යන
බවද ඒ සම්බන්ධයෙන් කිසියම් පරීක්ෂණයක් සිදුකරන්නේ නම් ඊට සහාය දක්වන බවද විහාරාධිපති හිමියෝ
වැඩිදුරටත් පැවසූහ. තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය පිහිටි ස්ථානයේ මීට වසර දෙකකට
පමණ පෙරද ඉමක් කොනක් නොපෙනෙන විශාල උමඟක් මතු වූ බවත් විහාරස්ථානය පිහිටි ප්‍රදේශයේ අතීත
රජ මාලිගාවක් තිබූ බව ජනප්‍රවාදවල සඳහන්ව ඇති බවත් විහාරධිපති හිමියෝ වැඩිදුරටත්  පැවසූහ.

මීගහකිවුල - රුවන් කුමාර