‘අද වන විට රටේ ජනතාවගේ සුරක්ෂිතභාවය වැදගත් තැනකට ඇවිත් තිබෙනවා. ජනතාව ඉල්ලන්නේ ආරක්ෂාවයි. රැකියාවට යන්න, පාසලට යන්න, සුරක්ෂිතභාවය ඇතිකරන්න කියා ජනතාව මගෙන් ඉල්ලා
සිටිනවා.’ යැයි පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.
ඔහු මෙසේ ප්‍රකාශ කළේ ඉකුත් (3දා) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේ පැවැති ඒකාබද්ධ වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සමුළුවේදීය.

තවදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මෙසේද පැවැසීය.

‘අපේ දේශීය කර්මාන්තකරුවා ව්‍යාපාරිකයා, ගොවියා රැකගනිමින් ඉදිරියට යා යුතුයි. විවිධ රටවලින් ආයෝජන ගැනීමේදී ඒවා වෙළෙඳ ගනුදෙනු මිස ඉන් ඉදිරියට රටේ මර්මස්ථාන පාවාදෙන ගිවිසුම්වලට නොයා යුතුයි. භූගෝලිය දේශපාලන අතින් ශ්‍රී ලංකාව
වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා. ඒවායෙන් ප්‍රයෝජනගෙන දියුණු වනවා වෙනුවට අපේ රටේ ස්වෛරීභාවය නැතිකරන තැනට අද රජය පත්වෙලා තිබෙනවා.
ජාතික ආරක්ෂාව හරහා ඇතිවුණු ස්ථාවරත්වය නිසයි එදා පිටරට ආයෝජකයන් ආයෝජනයට ඉදිරිපත් වුණේ දේශීය ව්‍යාපාර ඇරඹුවේ. පාස්කු ප්‍රහාරය නිසා රටට සිදුවුණු දේ අපි දුටුවා. ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඉදිරිපත් කළ යෝජනාව කාලෝචිතයි. සමස්තයක් ලෙස රට ඉදිරියට යා හැකි යෝජනා එහි ඇතුළත් වෙලා තිබෙනවා. අපේ රජයක් යටතේ මේ යෝජනා සියල්ලම ක්‍රියාත්මක කිරීමට අපි එකඟයි.
මේ රටේ ජනතාවට රැකියාව සුරක්ෂිතභාවය තවමත් ප්‍රශ්නයක්. ගෝලීයකරණය, නවීකරණය යන්ත්‍රෝපකරණ භාවිතය නිසාත් වැඩකරන ජනතාව අභියෝගයට ලක්ව තිබෙනවා. ආර්ථික ණය හා මූල්‍යමය කඩාවැටීම්වලදී ඒ බව දරාගන්න සිදුව තිබෙන්නේ වැඩ කරන ජනතාවටයි.
අද අපි මේ දෙපා තබාගෙන මේ ලෝකයේ ජීවත්වන්නේ වැඩකරන ජනතාව නිසයි.
අපේ රටේ විවිධ රජයන් යටතේ රාජ්‍ය ආයතන බිහිවුණා. ඒවා ලාභ නොලබන්නේ දේශපාලන පක්ෂ කරන වැරදි නිසා මිස වැඩකරන ජනතාවගේ වරදින් නොවේ. වැරදි පාලකයන් යෙදවීම නිසා ඒ ආයතන පාඩු ලබනවා.
මේ හැම ආයතනයක්ම ලාබ ලැබිය හැකි ආයතන බවට පත්කර ජනතාවට සේවය සැපයිය හැකිය.
මම ලේකම්වරයෙක් සමයේ අපි දකින විශාල සංවර්ධනය ඇති කළේ රාජ්‍ය සේවකයා සමගයි. ඔවුන්ට හරි අරමුණක් නායකත්වයක් දුන්නොත් රට ගැන හිතලා වැඩකරන බව මම අත්දැකීමෙන් දන්නවා.
අපේ නිලධාරීන්ට නිසි නායකත්වයක් ලබාදී පුහුණු කළ යුතුයි. ඒ වගේම රාජ්‍ය ආයතනය ආරක්ෂා කළ යුතුයි.’ යනුවෙන් පැවැසීය.
ඒකාබද්ධ වෘත්තීය සමිතියෙහි ලේකම් අතුල සෙනෙවිරත්න අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
පසුගිය වසර පහට ආසන්න දුර්දාන්ත පාලනයේ ද මෙරට කම්කරුවන් අසරණ තත්ත්වයට පත්වුණා.
රටට විශාල ආර්ථික වාසියක් ලබාගත හැකි හම්බන්තොට වරාය චීනයට ලබාදුන්නේ රාජපක්ෂ පවුලෙන් පලිගන්න. දේශීය සම්පත් කිසිදු හිරිකිතයකින් තොරව විදේශකයන්ට විකුණමින් සිටිනවා.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප කපලා දැම්මා. අපේ ප්‍රගතිශීලී රජයක් යටතේ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලටත් අපේ රජයකින් විසඳුම් ලබාදිය යුතුයි. ජූලි වර්ජකයන්ට අහිමි කළ රු.6000 නැවත අපේ රජයක් යටතේ ලබා දෙන්න.
අද ස්වයං රැකියා නියුක්තිකයන් පාරට ඇද දමලා තිබෙනවා. පෙර පරිදි ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කරන්න මැදිහත් වීමක් අවශ්‍යයයි.
සමස්ත කම්කරු පන්තියේ ජනාධිපතිවරයා වෙත ​ගෝඨාභය රාජපක්ෂ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව අපි පිළිගන්නවා.’ යනුවෙනි.
වැඩකරන ජනතාව මත ණය බර පැටවීම නවත්වමු දේශපාලන පක්ෂවල වැරදි නිසා ආයතන පාඩුවෙලා
කපා දැමූ විශ්‍රාම වැටුප් යළි ලබාදෙනවා. ජූලි වර්ජකයන්ට අහිමි කළ රු.6000 නව රජයකින් යළි හිමි වේ

(හේමන්ත ලියනපතිරණ)