අපරාධවලට සම්බන්ධ සැකකරුවන්ගේ මුහුණු හඳුනාගැනීමේ තාක්ෂණය යොදා ගැනීමට අදාළ කටයුතු මේ වනවිට සකස් කරමින් තිබෙන බව පොලිස් දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයාට සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසිය, ආගමන
විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය එක්ව දත්ත පද්ධති සම්බන්ධ කර ගනිමින් මෙම පොලිස් තොරතුරු සන්නිවේදන පද්ධතිය ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සඳහන් කර තිබෙන්නේ ජනාධීපතිවරයා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අතර පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

අපරාධවලට සම්බන්ධ වූවන්ගේ සහ නීතියේ රැහැනින් පලායන පුද්ගලයන්ගේ තොරතුරු එම පද්ධතියට අතුළත් කෙරෙන අතර ඕනෑම පොලිස් නිලධාරියකුට ඕනෑම ස්ථානයක සිට ජංගම දුරකථනයක් මඟින් එම පද්ධතිය හා සම්බන්ධ වී අපරාධකරු හඳුනාගත හැකි බවද එහිදී අනාවරණය වූ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඒ මඟින් අපරාධකරුවන් කඩිනමින් නීතියේ රැහැනට හසුකර ගැනීමට මෙන්ම රථවාහන වැරදි නිරීක්ෂණය කිරීමටද නියමිත බව සඳහන් කර තිබේ.

පහන් විජේසේකර