ඇල්පිටිය ප්‍රදේශයේ බස් රථයක් තුළ දී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට හේතු වී ඇත්තේ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදි ඌරගස්මුහන්දියේ සිදුකළ ද්විත්ව ඝාතනයේ පළිගැනීමක් බව පොලිසියට සැක පළ කරයි.

ඇල්පිටිය, අටකොහොම ප්‍රදේශයේදී බස් රථයක් තුළ දි සිකුරාදා (06දා) පෙරවරුවේදී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් හිසට වෙඩි තබා මෙසේ ඝාතනය වූයේ ඌරගහ, කුඩා ඌරගහ පදිංචි මාවනානහේවා රංජිත් ජයවර්ධන (41) නමැති තිදරු පියෙකි. ඝාතනයට ලක්වූ අයගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මිගහගේ මහතා විසින් පවත්වන ලද අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය ඇල්පිටිය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.ආර්. මුණසිංහ මහතා විසින් ඇල්පිටිය මූලික රෝහලේදී පවත්වන ලදී.

වෛද්‍ය වාර්තාව හා හෙළි වූ තොරතුරු අනුව මෙම
මරණය හිසට වෙඩි වැදීමෙන් ඇති වූ බරපතළ තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් සිදුව තිබෙන බවත් මෙය ඝාතනයක් බවත් මහෙස්ත්‍රාත්වරයා විසින් තීරණය කර තිබේ. සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා විසින් ඇල්පිටිය පොලිසියට නියෝග කර තිබෙන අතර විධිමත් මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයේදි පසුව පවත්වන බව ද මහෙස්ත්‍රාත්වරයා දැනුම් දී ඇත.

සිද්ධිය වූ බස් රථය තුළ තිබී හිස් පතරොම් කොපු 05ක් පොලිසිය විසින් සොයාගෙන තිබෙන අතර එම හිස් පතරොම් කොපු මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිවලට යොදන ඒවා බවද පොලිසිය විසින් තහවුරු කරගෙන තිබේ. ඝාතනයට ලක්වූ අයගේ හිසට වෙඩි පහරවල් 05ක් තබා තිබෙන බවත් ඇල්පිටිය පොලිසිය කියයි.

2018 සැප්තැම්බර් 30 වැනි ඉරිදා රාත්‍රි 7.30ත් 8.00ත් අතර ඌරගස්මංහන්දිය,
රන්තොටුවිල ප්‍රදේශයේදී වෙඩි තබා, කපා කොටා ඝාතනය කරන ලද ඌරගස්මංහන්දිය, ඉහළමාලවල,
රත්තොටුවිල පදිංචිව සිටි කුමාරගේ චමිල දිපාල් රණසිංහ (37) සහ එම ලිපිනයේ පදිංචි තුෂයාහේවගේ සමන් සුරේෂ් (30) යන දෙදෙනාගේ ඝාතනයන්ට පළිගැනීමක් ලෙස මෙම ඝාතනය කර තිබෙන බව පොලිසිය විශ්වාස කරයි.

මෙම ඝාතනයෙන් වසර ගණනාවක් පුරා දෙපාර්ශ්වයක් අතර තිබෙන කෝන්තරයක් නිසා සිදුව තිබෙන බවත් මෙම ඝාතනයත් සමඟ දෙපාර්ශ්වය අතර ඝාතන 06ක් සිදුව ඇති බවත් පොලිසිය කියයි. 2018 සැප්තැම්බර් 30දා ඝාතනයට ලක්වන
කුමාරගේ චමිල දීපාල් රණසිංහ (37) නමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහ 6 කණුව, හිපන්කන්ද, නවදගල පදිංචි ප්‍රදිප් කුමාර ජයවර්ධන (30) නොහොත් මයිකල් නමැති අයගේ මවගේ තාත්තා (සීයා) සහෝදරයය.

ඒ අනුව චමිල, ප්‍රදීප්ගේ පුංචි අම්මාගේ පුතාය. මයිකල් නමැති අය විසින් සිකුරාදා (06දා) මෙම ඝාතනය කර තිබෙන බවට ඇල්පිටිය පොලිසිය මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන බව ඇල්පිටිය පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

මයිකල්, කොස්ගොඩ සුජීගේ විශ්වාසවන්තම ගෝලයාය. 2011 ජනවාරි 04 දින අම්බලන්ගොඩ, අරලිය හෝටලය ඉදිරිපිටදී කෝටිපති ව්‍යාපාරික අංක 10 බි, මානිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි මාදුවගේ යසරත්න (53) නමැති අය ඝාතනය කරන්නේද මයිකල්ය.  එම ඝාතනය සම්බන්ධයෙන් ජයමුණි සුජීව ද සොයිසා (27) නොහොත් කොස්ගොඩ සුජී, ප්‍රදීප් කුමාර ජයවර්ධන නොහොත් මයිකල්, කැපූඇළ පාර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි කුවින්දාහන්දි නිලන්ත නොහොත් බොස්සා පොලිස් අත්අඩංගුවට පත්වේ.

එයට අමතරව 2016.04.11 දින ඌරගස්මංහන්දිය, මීගස්පිටියේ සංදිප නිවෙසේ පදිංචිව සිටි තිස්ස නමැති අය වෙඩිතබා ඝාතනය කිරීම, අහුන්ගල්ල, රේල් ගේට්ටුව අසල තරුණයෙක් සහ ඌරගස්මංහන්දිය, හිපන්කන්දේදි පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කිරිම යන චෝදනාද මයිකල්ට එල්ල වී තිබේ.