වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන්, ඉංජිනේරුවන්, නීතිඥයන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් එක්ව රුපියල් ලක්ෂය, ලක්ෂ පහ ආදී ලෙස මුදල් පෙන්නා සංවිධානාත්මක අයුරින් පවත්වාගෙන ගිය මහා පරිමාණ බූරුපොළක් වටලා ත්‍රිරෝද රථ හයක්, යතුරුපැදි සමඟ සැකකරුවන් හත් දෙනකු ගම්පොළ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
ගම්පොළ උලපනේ, උඩගම පාසලේ පිට්ටනිය අසල
මහවැලි ගඟ දෙසට යෑමට ඇති අතුරු මාර්ගයේ ජන ශුන්‍ය ප්‍රදේශයක ඇති විශාල නිවෙසක මෙම බුරුපොළ පවක්වාගෙන ගොස් ඇත.

මාතලේ, මහනුවර, පිළිමතලාව, නාවලපිටිය, ගම්පොළ, වෙලම්බොඩ ආදී ප්‍රදේශවල සිට පැමිණි අය මෙසේ සුදු කෙළ ඇති අතර මෙහිදී පැරදෙන අය උකස් කරන රන් බඩු,

ජංගම දුරකථන, ත්‍රිරෝද රථ, යතුරුපැදි ආදිය උකස් ගැනීමට කෙනකුද සිටින අතර සූදු පිටියට ආරක්ෂාව ලබාදීමට කණ්ඩායමක් සිටි බවද අනාවරණය වී ඇත.

සෑම ඉරිදා හා පොහොය නිවාඩු මෙන්ම අනෙකුත් රජයේ නිවාඩු දිනවල පමණක් මෙම සුදුපිටිය පවත්වා ඇති අතර එය විවිධ ප්‍රදේශවලද පවත්වාගෙන ගොස් තිබේ.

සූදු පිටියේදී පරාද වන තැනැත්තාගේ නිවෙසේ ඊළඟ සූදු පිටිය පැවැත්වීමද මෙහි විශේෂත්වයකි.

ඒ ආකාරයට මෙම නිවසේ හිමිකරු මීට පෙර රුපියල් කෝටි 2ක් පරාද වී තිබූ අතර එම නිසා මොවුන්ගේ නිවෙසේ මම සූදුපිටිය මෙවර පවත්වා ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මෙම නිවසේ හිමිකරුගේ බිරිය ඉතාලියේ සිටින අතර ඇය එවූ මුදල්ද මෙසේ බූරු පොළේදී පරාද වී ඇති බව කියයි.

මෙම ස්ථානයේ සුදු කෙළීම සඳහා 15 දෙනකු පමණ පැමිණ තිබූ නිසා මොවුන්ගේ ආරක්ෂක ජාලයට කලින් තොරතුරු ලැබී ඉන් කීපදෙනකු පැන ගොස් තිබේ. පොලිසිය කැලෑ රොද තුළින් ගමන් කර ඉතා අපහසුවෙන් මොවුන් අල්ලාගෙන තිබිණි.

බුරු පිටියේ සිටින අතරතුර මොවුන් පානය කළ බියර් බෝතල් 60ක්ද සොයාගෙන තිබිණි.

මොවුන්

බූරු පිටියට පැමිණීමට පෙර තම පෙද්ගලික වාහන වෙනත් ස්ථානයක නවතා වෙනත් වාහනයකින් බූරු පොළ වෙත පැමිණෙන බවත් පසුව වෙන වෙන වාහනවලින් පිටව යන බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර 18 වැනිදා ඔවුන් ගම්පොළ දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

ගම්පොළ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස්, පොලිස් අධිකාරී චූලනී වීරරත්න, ගම්පොළ මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල බණ්ඩාර, පොලිස් සැරයන් රෝහිත (28946), පොලිස් කොස්තාපල් බණ්ඩාර (4507), ධම්මික (55749), පුෂ්පකුමාර (55713) යන නිලධාරීහු මෙම වැටලීම කළහ.

ගම්පොළ - මාධව බණ්ඩාර