මත්කුඩු පැකටිටුවක් සම්බන්ධයෙන් බොරලැස්ගමුව ප්‍රදේශයේදී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයියකු ඝාතනයට ලක්ව ඇති බවත්, කෙසේ වෙතත් සැගව සිටි ඝාතකයා, වේරහැර ගගාරාම පාරේ කහටගහවත්ත ප්‍රදේශයේදී ඝාතනයට යොදා ගත් තියුණු
ආයුධයද සමග අත්අඩංගුවට ගත් බවද බොරලැස්ගමුව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්වූයේ, බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ පදිංචිව සිටි දෙදරු පියෙකි. සැකකරු 62 හැවිරිදි පුද්ගලයකි.සැකකරු විසින් මරණකරුට හෙරොයින් පැකට්ටුවක් රැගෙන එන ලෙස රුපියල් එක්දහස් එකසියයක
මුදලක් ලබාදී තිබූ බවත්, මේ දිනවලදී පවතින මත්කුඩු හිඟය නිසා ඝාතනයට ලක්වූ පුද්ගලයා එම මුදලුත්, ඔහු සතු මුදලුත් යොදවා වැඩි මුදලකට මත්කුඩු රැගෙනවිත් තනිවම පානය කර ඇති බවත් හෙළිවී තිබේ.

තමන් ලබාදුන් මුදල් නැවත ලබාගැනීමට මිය ගිය අයගේ නිවසට ගියවිට ඇතිවූ ආරවුලක් මත ඔහු ඝාතනය කර ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය පිළිබඳ ස්ථානික පරීක්ෂණ මිරිහාන පොලිස් සොකො අංශයේ උප පොලිස් පරීක්ෂක හැඬිගල්ල මහතා ඇතුළු නිලධාරින් විසින් පැවැත්වූ අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් පවත්වනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බන්දුල පද්මකුමාර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක මුදිත දල්පදාදු මහතාට ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

දෙහිවල - එච්.එම්. ධර්මපාල