ජනාධිපතිවරණයක් කැඳවීම සඳහා තම කොමිසමට අද (10) සිට බලය හිමි වන බව මැතිවරණ කොමිසම දන්වා තිබේ.
එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, මෙවර ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාම ලේඛනය සලකා බලන බවයි.

ඒ අනුව පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රමාණයට වඩා නව ඡන්ද ලක්ෂ 2 ක් පමණ එක්වනු ඇතැයි ඔහු පැවසුවේ ය.ෙ
මේ වන විට දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයින් 17 දෙනෙකු සහ ස්වාධීනව එක් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය සඳහා තරග කරන බව
මැතිවරණ කොමිසමට දැනුම් දී ඇතැයි ද මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ ය.

අපේක්ෂකයින් 17 දෙනෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට දැනුම් දී තිබෙන බවද ඔහු පැවසීය.
පිළිගත් දේශපාලන පක්ෂ 16 කින් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඒ සදහා ඉදිරිපත් වන බවට දැනුම් දී ඇති බව ඔහු කීය.
 නාම යෝජනා නිකුත් කළ දිනයේ සිට දින 16 ත් 21ත් අතර කාලය තුලදී නාම යෝජනා සදහා ඇප තැන්පත් කිරීමට අවස්ථාව හිමිවෙයි. නාම යෝජනා භාර ගන්නා දිනයේ සිට සති 4ත් 6ත් අතර කාලය තුලදී ඡන්ද විමසීම පැවැත්විය යුතු බව මැතිවරණ නීතියේ සදහන් වෙයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඕනෑම වේලාවක ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසමට හැකියාවක් ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණය දී තිබෙන තීන්දුව මත පළාත් සභා මැතිවරණය පවත්වන්නට හැකියාවක් නැති බවත් එකම විකල්පය ජනාධිපතිවරණය පැවැත්වීම බවත් පැවසේ.
නොවැම්බර් 10 සහ දෙසැම්බර් 8 වන දින අතර දී ජනාධිපති මැතිවරණය ඒ අනුව පවත්වන්නට ඉඩ තිබෙන බව දේශපාලන ආරංචි වාර්තා කර තිබේ.