වෙන්නප්පුව ප‍්‍රදේශයේ සූදු පොළක් වැටලීමෙන් පසු එහි තිබූ රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හලාවත පොලිසියට අනුයුක්ත දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් 8 දෙනකු ඊයේ (17 ) වැඩ තහනමට ලක් කර ඇත.

 හලාවත පොලිසියට අනුයුක්ත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනකු වෙන්නප්පුව ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොළක් වටලා ඇත්තේ ඉකුත් 06 වැනිදාය. මෙම සූදු පොළේ සූදු ක්‍රීඩාවේ යෙදී සිටි පුද්ගලයන් 20 දෙනකු පොලිසියෙන්
අත්අඩංගුවට ගත් අතර පසුව ඉන් 11 දෙනකු මුදා හැර ඇති බවට මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.

 එහිදී සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයන් 09 දෙනකු සහ එම සූදු පොළේ තිබූ රුපියල් එක්ලක්ෂ හතළිස් හත් දහසක මුදලක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

 එහෙත් සූදු පොළේ සිටි පුද්ගලයන්ගේ ප‍්‍රකාශවලින් හෙළි වී ඇත්තේ මෙම සූදු පොළේ රුපියල් කෝටියකට ආසන්න මුදලක් තිබූ බවත් අත්අඩංගුවට ගත් පිරිසක් පොලිස් නිලධාරීන් විසින් මුදා හැර ඇති බවත්ය.

 මේ සම්බන්ධයෙන් හලාවත කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධ විමර්ශනයක් පැවැති අතර මෙසේ චෝදනා එල්ල වී ඇති උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු කොස්තාපල්වරුන් 05 දෙනකු සහ පොලිස් රියැදුරකු වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක් කර ඇත.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති අතර වැඩ තහනමට ලක්වූ නිලධාරීන් මෙම මුදල් වංචා කළේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

නාත්තන්ඩිය - රෙක්ස් හැරිසන්