බෝරා ප්‍රජාව රටට පක්පාතීව විසීමේත්, නීත්‍යනුකුලව ජීවත්වීමේත් වැදගත්කම බෝරා ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දිල් සෙයිෆුද්දීන් අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බෝරා ආධ්‍යාත්මික නායකතුමා අෂාරා මුබාරක්
පළමු දේශනාව පෙරේදා (01දා) බම්බලපිටියේ පිහිටි හුසෙයිනි මස්ජිද් පල්ලියේදී පවත්වමින් මෙම කරුණ ඉස්මතු කර තිබේ.

පසුගිය වසර කිහිපය තුළ ඔහු ලද අත්දැකීම් මත මෙම දේශනා මාලාව එක මාතෘකාවක් යටතේ පමණක් පවත්වන බව සෙයියදිනා නිවේදනය කළ අතර, ඒ අනුව මෙම වසරේ ඔහුගේ දේශනා මාලාව පදනම් වී ඇත්තේ ඉමාම් අල් බින් අබ් තලිබ්ගේ සිට ඔහුගේ පුත් ඉමාමි හසන් දක්වා බව පවසයි. එහිදී, පියෙකු තම පුතා කෙරෙහි උන ආදරය සහ ඔහු උසස්, අවංක හා ගුණවත් කෙනෙකු කිරීමට පියෙකුගේ ඇති අභිලාෂය, ඒ සඳහා අවශ්‍ය සදාචාරාත්මික
හැසිරීම පිළිබඳ උපදෙස් සහ මඟපෙන්වීම මත පදනම් වූ දේශනා මාලාවක් ආචාර්ය සෙයියදිනා මුෆද්දිල් සෙයිෆුදීන් විසින් ශ්‍රී ලංකාවේදී පවත්වන බව සඳහන් කරයි.

තම පළමු දේශනාවෙන් උඩගුකම, කෝපය සහ ලෝභකම යන කාරණා තුනෙහි ඇති භයානක බව සහ නිරර්ථක බව පිළිබඳ එතුමන් අවධාරණය කර ඇති අතර, එම කරුණු තුළින් ආත්මය පිරිහීමට ලක්වන බවත්, එය පෞද්ගලික යහපැවැත්මට සහ සමාජිය වර්ධනයට අහිතකර වන බැවින් එවැනි ගතිලක්ෂණ පිළිබඳව සුපරික්ෂාකාරීව සිටින ලෙසත් සිය ප්‍රජාවට අවවාද කර තිබේ.

මෙහිදී ලොව නන් දෙසින් පැමිණ සිටින 21,000කට අධික බෝරා ප්‍රජාව පිළිගනිමින් බෝරා ආධ්‍යාත්මික නායකතුමා ආගමික භක්තියේත්, රටට පක්ෂපාතීව විසීමේත්, නිත්‍යානුකුලව ජීවත්වීමේත් වැදගත්කම පැහැදිලි කර ඇති අතර, අෂාරා මුබාරකා සමයේදී සෑම අයෙකුම එය සිහිපත් කිරීම සඳහා තම කාලය යොදවන්නැයි, ඔහු අවසන් වශයෙන් උපදෙස් දී තිබේ.

ඩාවුඩි බෝරා ප්‍රජාව යනු ලොව පුරා විසිරී සිටින මුස්ලිම්වරුන් එක් නිකායකි. 53 වැනි අල්-දායි අල්-මුත්ලක්, වන ශුද්ධ වූ නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දිල් සෙයිෆුදීන් විසින් මෙම ප්‍රජාව සඳහා නායකත්වය දෙනු ලබයි. ශ්‍රී ලංකාවේ ඩාවුඩි බෝරා ප්‍රජාවේ ඉතිහාසය වසර 150ක් පමණ දක්වා ඈතට දිව යන අතර, වර්ෂ 1830 දී  ගුජරාටයේ කුච් හි සිට පැමිණි ජැෆර්ජි එසාජ් ශ්‍රී ලංකාවේ පළමු බෝරා සාමාජිකයා ලෙස ඉතිහාසයට එක් වෙයි.

කොළඹ නගරයේ ඩාවුඩි බෝරා සාමාජිකයන් 2,500ක් පමණ පිරිසක් ජීවත් වන අතර, බෝරා ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් වෙළෙඳ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූ පුද්ගලයෝ වෙති. ශ්‍රී ලංකාවේ බෝරා මස්ජිද්  පල්ලි 4ක් තිබෙන අතර, කොළඹ ඇති හුසෙයිනි මස්ජිද් පල්ලිය ඉන් විශාලතම පල්ලිය ලෙස සැලකෙයි. මීට පෙර 2008 වසරේදී කොළඹදී පැවැත් වු මෙම දේශනාව සඳහා වත්මන් ආධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දිල් සෙයිෆුදීන්ගේ  පියා : වූ අභාවප්‍රාප්ත ආධ්‍යත්මික නායක සෙයියදිනා මොහමඩ් බුර්හාද්දීන් විසින් පවත්වා තිබේ. වත්මන් නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දිල් සෙයිෆුදීන් විසින් කොළඹදී පවත්වනු ලබන පළමු දේශනය මෙයයි.

- ෂමිල පෙරේරා