බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන වෙලේ සුදා. සුසෙයි හා පොට්ට නව්ෆර් යන තිදෙනා රඳවා සිටි අධි ආරක්ෂිත සිරකුටි පරික්ෂාවේදී ජංගම දුරකතන 3ක් හා සිම්පත් 3ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සිරකුටි භාරව කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව බන්ධනාගාර
මුලස්ථානය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

මෙම සිරකරුවන් වෙන වෙනම ආරක්ෂින සිර මැදිරිවල රඳවා සිටියදීත් ඒ තුළට ජංගම දුරකථන රැගෙන ගොස් ඇත්තේ කෙසේද යන්න පිළිබඳවත් මෙහිදී දැඩි විමර්ශනයකට ලක් කරන බව ද බන්ධනාගාර මුලස්ථානයේ උසස් නිලධාරියෙක්  පැවසීය.

ඉකුත් 12 වන දින අලුයම 5ට පමණ සිරකුටි විවෘත කිරිමට පෙර ඒ තුළ සිදු කළ හදිසි පරික්ෂාවකදි වැසිකිළි පෝච්චි තුළ රහස් කුටීයක මෙම ජංගම දුරකථන හා සිම්පත් සඟවා තිබියදී අත්අඩංගුවට ගනු ලැබිය.  වැලිකඩ හා බෝගම්බර බන්ධනාගාරවල සිට මෙම සිරකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන  ලද බවට ලැබී තිබූ තොරතුරු මත ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස මත්කුඩු ජාවාරම්කරුවන් හා පාතාල අපරාධකරුවන් වෙනුවෙන් බුස්ස බන්ධනාගාරය වෙන් කිරීමට පියවර ගනු ලැබීය.

බුස්ස බන්ධනාගාරයේද මෙවැනි තත්ත්වයක් ඇතිවීම කිසිසේත් සුළුකොට තැකිය නොහැකි බැවින් මෙම පරික්ෂණය ආරම්භ කිරීමට තීරණය කර තිබෙන බවද බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.

-ජයන්ත සමරකොන්-