https://www.gossiplankanews.com/2019/09/7-female-elephants-died-hiriwadunna.html
බරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 4 දෙනෙකුගේ මළ සිරුරු මුලින් සොයා ගැනීමෙන් අනතුරුව අද (28) දිනයේදී ද තවත් මළ සිරුරු තුනක් හමුවූ බව එම
නිලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඒ වනවිට දැනට හමුවූ සිරුරු ගණන 7 කි.
 අද අලුයම හමුවූ ඇතින්නියගේ මළ සිරුර රකිමින් වයස අවුරුදු හතරක පමණ කුඩා පැටවකු රැඳී සිටීම විශේෂත්වයක් වූ බවද වාර්තා විය.
මෙම කුඩා අලි පැටවා තම මව මියගිය බව නොදැන මව අසලට වී රැඳී සිටින ආකාරයත් එමෙන්ම කිසිවකුටත් එම ස්ථානයට ළංවීමට ඉඩ නොදී මව බලා ගන්නා ආකාරය ද බොහෝ දෙනෙකුගේ සංවේදී දර්ශනයක් විය.


සීගිරිය වනජීවී කාර්යාලයේ නිලධාරීන්, යුද හමුදාව, හබරණ පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මළසිරුරු ඇත්දැයි සොයා තවදුරටත් මෙහෙයුම් අරඹා ඇත.
මියගිය වන අලින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ සිදුකරමින් සිටියි.

කුඩා අලි පැටවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට ඉඩ නොදෙන නිසා එම වන අලි පැටවාට නිර්වින්දනය කොට වෙනත් ස්ථානයකට පළවාහැර පරීක්ෂණ කටයුතු කිරීමට වනජීවී නිලධාරීහු ක්‍රියා කර තිබේ.
දැනට හමුවූ  මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයක් වන අතර මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියි.

මෙම සතුන් මිය යෑමට හේතුව පිළිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ පිළිබඳව පරික්ෂා කරන බවත් වනජීවී නිලධාරීන් ප්‍රකාශ කර සිටියි.

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල