අලුත්ගම සිට ඇල්පිටිය බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස්‌රථයකට ඊයේ (06 දා) උදේ කඩාවැදුණු සන්නද්ධ පුද්ගලයකු එහි ගමන් කරමින් සිටි 41 හැවිරිදි පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලාගොස්‌ ඇත.

අටකොහොට හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩිතැබීම සිදුව තිබේ.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ ඌරගස්‌මංහන්දිය වල්ඉඟුරුකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ 41 හැවිරිදි හේවගේ රංජිත් ජයවර්ධන නමැති දෙදරු පියෙකි.

ඝාතනයට ලක්‌ වූ රංජිත් ජයවර්ධන මීට වසරකට පමණ උඩදී ඌරගස්‌මහංන්දිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුගේ ගෙල කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අයෙකි.

එහිදී ඝාතනයට ලක්‌වූ පුද්ගලයන් දෙදෙනා කොස්‌කොඩ සුජී නමැති පාතාල නායකයාගේ කල්ලියේ සාමාජිකයන් බව පොලිසිය හඳුනාගෙන තිබිණි.

ඊයේ පෙරවරුවේ සිදුවූ මෙම ඝාතන සිද්ධිය
පිටුපස කොස්‌ගොඩ සුජී ඇතුළු පාතාල කල්ලි සාමාජිකයන් ඇති බවට පොලිසිය සැක පහල කරයි.

ඝාතනයට ලක්‌ වූ රංජිත් ජයවර්ධන නමැත්තා ඇල්පිටිය දිසා අධිකරණයේ විභාග වෙමින් තිබූ ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා සිය බිරිඳ, මව සහ නැගණිය ද සමඟ බස්‌රථයෙන් යමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය පවසයි.

ඝාතකයා ඇල්පිටිය අටකොහොට මංසන්ධියේදී බස්‌රථයට ගොඩ වී එහි සිටි රංජිත් ජයවර්ධන නමැත්තාට වෙඩිතබා ඇත.

ඒ වනවිට බස්‌රථය පසුපසින් යතුරුපැදියක පුද්ගලයකු පැමිණ ඇති අතර රංජිත්ට වෙඩිතැබූ පුද්ගලයා බස්‌රථයෙන් බැස ඒ පසුපසින් පැමිණි යතුරුපැදියේ නැඟී පලාගොස්‌ තිබේ.

ප්‍රහාරය සඳහා මිලිමීටර 9 වර්ගයේ පිස්‌තෝලයක්‌ යොදාගෙන ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. සිද්ධිය සැල වූ වහාම ක්‍රියාත්මක වූ ඇල්පිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා මහතා එම ස්‌ථානය වෙත ගොස්‌ විමර්ශන ආරම්භ කළේය.

පොලිසිය ඇල්පිටිය අලුත්ගම මාර්ගයේ සී. සී. ටී. වී. කැමරා පරීක්‍ෂා කර ඝාතකයන් පිළිබඳ තොරතුරු සෙවීමේ කටයුතු ආරම්භ කර තිබිණි.

සිද්ධියට සම්බන්ධ ස්‌ථානීය පරීක්‍ෂණය ඇල්පිටිය මහෙස්‌ත්‍රාත් ගයාන් මීගහගේ මහතා විසින් සිදුකරන ලදී.

ඇල්පිටිය කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි බුද්ධි උඩුගමසූරිය මහතාගේ මෙහෙයවීම මත ඇල්පිටිය සහකාර පොලිස්‌ අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතාගේ උපදෙස්‌ මත ඇල්පිටිය මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් ද සිල්වා, පොලිස්‌ පරීක්‍ෂකවරුන් වන සුසිල් සිල්වා, සුමුදු ප්‍රසන්න, ඇල්පිටිය කොට්‌ඨාස අපරාධ ස්‌ථාන පරීක්‍ෂණාගාරයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්දිමාල් ද සිල්වා මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පොලිස්‌ පරීක්‍ෂණ පවත්වති.

මෙම වෙඩිතැබීම සිදුවන අවස්‌ථාවේ බස්‌ රථයේ සිටි රංජිත් ජයවර්ධනගේ මව වන ඌරුගස්‌මංහන්දියේ පදිංචි එස්‌. එච්. සිරියාවතී සිද්ධිය පිළිබඳව පොලිසියට මෙසේ විස්‌තර කළාය.

මියගිය මගේ පුතත්, ලේලිත්, මගේ දියණියත් අප තුන්දෙනාම 06 වැනිදා උදේ ඇල්පිටිය දිසා අධිකරණයේ විභාග වන
ඉඩම් නඩුවකට පෙනී සිටීම සඳහා ඌරුගස්‌මංහන්දියෙන් බස්‌ එකට නැග්ගා. පුතත් ලේලිත් බස්‌ එකේ පිටිපස්‌සේ සීට්‌ එකක වාඩිවෙලා හිටියා. මමත් දුවත් ඉස්‌සරහ සීට්‌ එකක වාඩිවෙලා හිටියා. ටික වේලාවකින් බස්‌ එකේ පිටිපස්‌සෙන් රතිඤ්Æ පුපුරනවා වගේ ශබ්දයක්‌ ඇහුණා. ඒ සමඟම ලේලි මර විලාප දෙනවා ඇසුණා.

සිද්ධිය පිළිබඳ මියගිය අයගේ මව මෙසේ ද පැවසුවාය.

මියගිය මගේ පුතා ඉඩම් නඩුවක විත්තිකරුවෙක්‌. මගේ මල්ලි නඩුව පවරා තිබුණා. ඉඩම් නඩුව නිසා මල්ලි අප සමඟ අමනාපයකිනුයි සිටියේ.

සිද්ධිය වූ ඌරගහ සිට සැතපුම් 4 ක්‌ පමණ ඇල්පිටිය පැත්තට එනකොට තමයි රතිඤ්Æ පුපුරනවා වගේ ශබ්දයක්‌ බස්‌ එකේ පිටිපස්‌සෙන් ඇසුනේ. ඒ වෙලාවෙ බස්‌එක පිරෙන්න සෙනඟ හිටියා. බස්‌එක නතර කළා. බස්‌ එකේ සිටිය අය හැමෝම කෑගහගෙන හැම පැත්තටම දිව්වා. ඒ වෙලාවෙ පුතාගෙ ඔලුවේ හැම පැත්තකින්ම ලේ ගලනවා දැක්‌කා. ඔහු මොනවත් කතා කළේ නෑ. ඇස්‌දෙක පියාගත්තා. එතන සිටි අය සමඟ ලේලි පුතාව වාහනයක දාගෙන ඇල්පිටිය රෝහලට ගෙනගියා. පුතා මියගිය බව පසුව ආරංචි වුණා යෑයි ද සිරියාවතී මහත්මිය කීවාය.

හේමන්ත රන්දුණු, විදානාරච්චි කීර්තිරත්න, සුගතපාල දීයගහගේ