පාසලේදී ක්ලාන්තයක් ඇතිවූ පහළොස් හැවිරිදි පාසල් සිසුවකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය පුවතක් දඹුල්ල පොලිසියෙන් වාර්තා වේ. දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ දහය වසරේ ඉගෙනුම ලබන පී.බී. පුබුදු මධුසංඛ (15) නැමැති දරුවා මෙසේ මියගොස් තිබේ.

මෙදින විද්‍යාලයේ වෛද්‍ය පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබුණු බවත් මෙම දරුවා එම වෛද්‍ය පරීක්ෂණවලට ලක් නොවුණු බවත් විදුහල්පති අරුණ බණ්ඩාර ලියනආරච්චි කියා සිටී. මෙම දරුවා පාසලේ 6 වැනි ශ්‍රේණියේ පන්තියක වාඩිවී ඩෙස් එකක් මත හිස තබාගෙන සිටින බවට තවත් දරුවෙකු විද්‍යාව උගන්වන ගුරුවරයකුට

දැනුම් දී ඇත.

පසුව මෙම ගුරුවරයා තවත් දරුවන් දෙදෙනකුගේ සහාය ඇතිව මෙම සිසුවා විද්‍යාලයේ ඒ වනවිටත් සිටි වෛද්‍යවරයකුට පෙන්වීමත් සමග වහාම දරුවා රෝහල්ගත කරන ලෙස වෛද්‍ය උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව පාසලේම තිබුණු ගිලන් රථයකින් දරුවා දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව මූලික රෝහලට ඇතුළත් කොට ඇත.රෝහලට ඇතුළත් කොට විනාඩි කිහිපයක් ගතවෙද්දී දරුවා මියගොස් තිබෙන බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.රෝහල් භූමියට පැමිණි සිසුවාගේ මව සහ පියා කියා සිටියේ මෙම දරුවා උපතේදීම පපුවේ සිදුරක් පවතින බව වෛද්‍යවරු දැනුම් දී තිබෙන බවය. එහෙත් ඒ සඳහා ප්‍රතිකාර නොගත් බවත් ඔවුහු පවසති. ලබන ජනවාරි මාසයේ මෙම දරුවා මහනුවර රෝහලට රැගෙන යෑමට නියමිතව තිබුණු බවද මව කියා සිටියාය.

මියගිය පුබුදු මධුශංක සිසුවා දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මාපියන් දෙදෙනා ගොවිතැන් බත් කරන අයයි.කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පි. එදිරිසිංහ ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.

ලක්ෂිත සංදීප ආරියදාස - දඹුල්ල