ජංගම දුරකථනයෙන්  "චැට්" කරමින් කාලය ගත කිරීම නොඉවසූ සැමියකු තම බිරීයගේ කන සපා කා පාඩමක් ඉගැන්වීමේ අපූරු පුවතක් ගලේවෙලින් වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ සැමියා තම බිරිය කාලයක්
තිස්සේ ඇගේ ජංගම දුරකථයෙන්  ''චැට්" කරන අයුරු බලා සිටියේ නොරිස්සුම් සහගතවය.

“චැට්” කිරීමේ අවසන් ප්‍රතිඵලය පවුල් අවුල්වීම බව සැමියා තේරැම්ගෙන තිබිණි. ඔහුගේ බිරිද
ගෙදර දොරේ හා දරුවන්ගේ වැඩ කටයුතු පවා අතපසු කර  ''චැට්'' කිරීමට
ඇබ්බැහි වී සිටියාය.

ඇතැම් අවස්ථාවල ගෙදර දොරේ කරන ඉවුම් පිහුම් පවා අතපසු කර හෝටල්වලින් කෑම පාර්සල් ගෙන්වා ආහාරයට ගැනීමට ඔවුන්ට සිදුවී තිබිණි. මේ නිසා තම බිරියගේ ජංගම දුරකථනය ඇයගේ විරෝධය මැද ඉවත් කිරීමට පියවර ගත්තේය. කාලයක් ගිය නමුත් බිරියගේ ඉරියවිවල වෙනසක් නොවූ තැන සැමියා ඒ ගැන විමසිල්ලෙන් සිටියදී යළිත් ඇය ජංගම දුරකථනයකින් පුරුදු පරිදි “චැට්” කිරීමට පටන්ගෙන ඇති බව සොයාගත්ය.

තම පවුලේ අනාගතය ගැන සිතා ජංගම දුරකථනය ඇගෙන් ඉල්ලා සිටියත් ඇය එය තරයේ ප්‍රතිෂ්ප කළාය. අවසානයේදී ඔහු ජංගම දුරකථනය උදුරා ගැනීමට බිරිය සමඟ පොරබදා ඇත. එය ඉතා දරුණු අන්දමින් සිදුවූ අතර එය කොතරම්ද යත් බිරියගේ කනක කෑල්ලක් සපා කෑමට සැමියා පෙලඹී ඇත. අනතුරුව බිය ඔහුගේ සිරුර පුරා සපාකෑමෙන් ඇතිවූ තුවාල සහිතව පොලිසියට පැමිණ පැමිණිලි කර තිබිණි.

මේ පිළිබඳව පසුගිය 20 වැනිදා පරීක්ෂණයක් පැවැත්වූ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගෙන් එම බිරිය ඉල්ලා සිටියේ දරුවන් ගැන සිතා සැමියා සමඟ සමාදාන වීමට කැමැති බවයි. ඒ අනුව මෙම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමටත් වෛද්‍ය වාර්තාව ලැබීමෙන් පසු සුදුසු ක්‍රියාමාර්ග ගැනීමටත් පියවර ගන්නා බවත් පැවැසීය.

ගලේවල තිලක් පල්ලේගෙදර