අලෙවිය සදහා ඇති ජල බෝතල්වල මූඩිය සමග පොලිතීන් වැස්මක් යෙදීම තහනම් කිරීමට මෙන්ම ළා නිල් පැහැති ප්ලාස්ටික් ජල බෝතල් නිෂ්පාදන තහනම් කිරීමට කටයුතු කරන බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

අලෙවිය සඳහා ඇති ජල බෝතල්වල මුඩිය හොදින් සීල් කර  ඇති බැවින් ඒ සඳහා අමතර පොලිතීන් වැස්මක් අවශ්‍ය නොවන බවත්, එලෙස පොලීතීන් වැස්මක් යෙදීම තුළින් අනවශ්‍ය ලෙස  පොලීතීන් ප්‍රමාණයක් පරිසරයට එකතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

දිනකට ජල බෝතල් මිලියන 10ක් පමණ
පරිසරයට එකතු වන බවත්, ඒ අනුව අනවශ්‍ය ලෙස පොලිතීන් වැසුම් මිලියන 10ක් පමණ පරිසරයට එකතු වන බවත් ඒ මහතා කියා සිටියේය. එමෙන්ම අලෙවිය සඳහා නිෂ්පාදනය කරන ජල බෝතල් සුදු පැහැති ඇසුරුමක් සහිතව අලෙවි කළ යුතු බවට දැනුවත් කර තිබුණද, ඇතැම් නිෂ්පාදකයන් තවමත් ළා නිල් පැහැති ජලබෝතල් නිෂ්පාදනය කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.  ලා නිල් පැහැති ජල බෝතල් පරිසර හිතකාමී නොවන බව පවසමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"පානීය ජලු බෝතල මූඩිය සමග පාලිතීන් වැස්මක් තිබෙනවා. එය අනවශ්‍ය දෙයක්. බොහෝ රටවල නැහැ. ජල බෝතල්වලට මේ ආකාරයට වැස්මක් අවශ්‍ය නැහැ. මූඩිය සීල් කරලා තිබෙන්නේ. වෙළඳ පොළේ තිබන වෙනත් බීම බෝතල්වල මේ ආකාරයට පොලිතීන් වැස්මක් නැහැ. ජල බෝතලයට විතරක් මේ ආකාරයට වැස්මක් ඇවිත් තිබෙනවා. මේ නිසා ඉදිරියේදී එය තහනම් කරමින් නීතිය ඉදිරිපත් කරනවා.

ඒ වගේම ලා නිල් පැහැති වතුර බෝතල් තිබෙන්නට බැහැ. ජල බෝතල් සුදු පැහැයට තිබෙන අවශ්‍යයි. ළා නිල් පැහැති ප්ලාස්ටික් පරිසර හිතකාමී නැහැ. ඒ වගේම ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ක්‍රම ක්‍රමයෙන් ගන්න කටයුතු කරනවා" යනුවෙන් කියා සිටියේය.

-චාමර සම්පත්-