ඔට්ටු ඇල්ලීමේ සහ සූදු ව්‍යාපාරිකයන්ට ක්‍රීඩා පරිපාලනයට පැමිණීම වළක්වාලමින් ක්‍රීඩා
අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා පනතේ සංශෝධනයක් සදහා ඊයේ (22දා) විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ බව ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවසීය. මෙම සංශෝධනය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේත් එකඟතාව හිම් වුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියේය.
මේ අනුව මෙතෙක් කලක් හිටපු සභාපති වශයෙන් ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ තිලංග සුමතිපාල මහතාට එම තනතුර  අහිමි වේ. තිලංග සුමතිපාල ක්‍රිකට් විධායක  කමිටුවෙන් ඉවතට විසිවෙද්දී විධායක කමිටුව නියෝජනය කිරීමේ අවස්ථාව ජයන්ත ධර්මදාස මහතාට හිමිව තිබේ. ඒ මීට පෙර ඡන්දෙන් පත්වුණු නිලධාරි  මඬුල්ලක සභාපතිත්වය හෙතෙම දැරීම හේතුවෙනි. ඒ 2013-2015 කාල සීමාව තුළදීය.

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සාමාජික සංගම් 03ක්
ඉදිරිපත් කර තිබු පෙත්සම් සලකා බලමින් අමාත්‍යවරයා මෙම තීන්දුව ගෙන තිබේ. ඊට පෙර අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඒ පිළිබඳව කරුණු විමසා ඇති අතර, එහෙත් ඔවුන් දැක්වූ පිළිතුරු සාධාරණ සහ යුක්ති සහගතභාවයකින් තොර වීම හේතුවෙන් අමාත්‍යවරයා මෙම තීන්දුවට පැමිණ තිබේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා,

"අද අපි ගැසට් ඒකක් ඉදිරිපත් කරලා තියෙනවා, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා නීතිය සංශෝධනයක් කරන්න. එහිදී අපි විශේෂයෙන් කරලා තියෙන්නේ, කිසිම බුකී ගනුදෙනුවකට එහෙමත් නම් ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලට සම්බන්ධ කිසිම කෙනෙක්ට ක්‍රීඩා සංගම්වල පරිපාලනයට සම්බන්ධ විය නොහැකියි කියලා. මම ඒක අත්සන් කරලා ගැසට් කරන්න යවලා තියෙනවා.ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයත් පැහැදිළිව එකඟතාව පළ කරලා තියෙනවා.

අයිසීසී ව්‍යවස්ථාවේ තියෙන විදිහටම පැහැදිලිව ඒක කියලා තියෙනවා, පවුලේ කිසිම සාමාජිකයෙක් හර් සම්බන්ධයි නම් ඔවුන්ට කිසිම නිල තලයක් දරන්න බැහැ කියලා. අපිට නෙමෙයි තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කිරීම ප්‍රශ්නයක් තිබුණේ. එහෙම ප්‍රශ්නයක් තිබුණේ අයිසීසී එකට. අපි අයිසීසී එකෙන් විමසුවා, ඔහුට ක්‍රිකට් විධායක කමිටුව නියෝජනය කරන්න පුළුවන්ද කියලා.

ඔවුන් පැහැදිලිව කිව්වා අයිසීසී එකේ කිසිම තනතුරක් දැරීමේ හැකියාවක් ඔහුට නැහැ කියලා. අයිසීසී එකේ ඉන්න බැරි නම් ඔහුට ලංකාවේ එම තනතුරේ ඉන්නත් බැහැ. එනිසා අපි පැහැදිලිව සමහර තීන්දු තීරණ ගන්නවා. ඒවා අමිහිරියි, නීරසයි. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට හරි තීන්දු ගන්න වෙනවා” යැයි පවසා සිටියේය.

තිලංග සුමතිපාල මහතා තමන්ට ඔට්ටු ඇල්ලිමේ ව්‍යාපාරවලට සම්බන්ධතාවක් පවතින බව පාර්ලිමේන්තුවේදී පිළිගෙන තිබුණු අතර, එහි වැඩි පිටපත් සහ ඊට අදාළ වෙනත් ලිපි ලේඛන යොමු කරමින් අදාළ ක්‍රීඩා සමාජ ත්‍රිත්වය මෙම පෙත්සම
ගොනු කර තිබුණි.

-පැතුම් ශ්‍රි විජේරත්න-