දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු (IRC) ලෙස නම් දරා සිටින "නත්තල් සීයා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකු නීතියේ රැහැනට හසුකර ගැනීමට ගල්ගමුව පොලිසිය ඉකුත්දා සමත් වී තිබේ.

ගල්ගමුව පොලිස් වසමට අයත් නාන්නේරිය  ප්‍රදේශයේ වෙළෙඳසලක් කඩා එහි තිබූ මුදල් සහ භාණ්ඩ සොරාගෙන යෑමේ  සිද්ධියක් සම්බන්ධයෙන් ගල්ගමුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව පැවැත්වූ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සඳන් කරයි.

පසුගියදා පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ස්ථානයේ සවිකර තිබු සීසීටීවී දර්ශන පරික්ෂා  අනතුරුව සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව එකී පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.
පසුව එම තොරතුරු ඔස්සේ සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී  හෙළි වී ඇත්තේ එකී පුද්ගලයා තලාව, නබඩෑව ප්‍රදේශයේ පදිංචි  අයකු බවත් ඔහු වසරකට පමණ වරක් ඉතාම රහසිගතව සිය නිවසට පැමිණ ආපසු යන බවත් 1126/2018 යන අංකය යටතේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස නම් දරා ඇති බවත්ය.

කෙසේ වෙතත් එම තොරතුරු අනුව තවදුරටත් පරීක්ෂණ පැවැත්වූ ගල්ගමුව පොලිසිය සැකකරු පදිංචි නබඩෑව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හරහා සැකකරුගේ වැඩිමනත් තොරතුරු ලබා ගැනීමෙන් පසුව දුරකථන ආයතනයකින් සැකකරු භාවිත කරන දුරකථන අංකය සොයා ගෙන ඇත. පසුව ගල්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන කාත්තාවක් මේ සඳහා සම්බන්ධ කර ගෙන සැකකරුට ඇමතුම් ලබාදී ඔහු හා හිතවත්කමක් ගොඩනඟා ගැනීමට සලස්වා සැකකරු හා අදාළ කාත්තාව හමුවීමට දිනයක් ස්ථානයක් වෙන් කරවා ගත් පසුව තබුත්තේගම නගරයේ ප්‍රසිද්ධ නිමි ඇඳුම් සාප්පුවක් අසලට සැකකරු ගෙන්වා ගැනීමෙන් පසුව පොලිස් නිලධාරින් විසින් රැකවල්ලා සිට සැකකරු අල්ලා ගැනීමට කටයුතු යොදා තිබේ.

පසුව සැකකරු පිළිබඳ ලංකාව පුරා පොලිස් ස්ථානවලට දැනුම් දී මෙම අපරාධකරු සම්බන්ධව
තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ , අපරාධ 28ක් සඳහා මෙම සැකකරු සම්බන්ධ බවත් සීගිරිය, පොළොන්නරුව, වැල්ලව, වාරියපොළ, පොල්පිතිගම, එප්පාවල, නවගම, මහව, තඹුත්තේගම, කොටවෙහෙර යන පොලිස් ස්ථානවලද සැකකරුට විරුද්ධව පැමිණිලී ඇති බවත් සැකකරු පොලිසියට කට්ටි පනිමින් සිටි අයකු බවත්ය.

කෙසේ වෙතත් සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමෙන් පසුව සැකකරු සුදු හිස් වැසුමක් පැලඳ, කළු පැහැති කෝට් එකක් දමා, උඩට සුදු සරමක් හා ඊට යටින් කළු කලිසමක් හැඳ කොර ගසමින් ඇවිදින පුද්ගලයකු බවට පොලිසිය හඳුනාගෙන ඇත. එසේම සැකකරු අධික ලෙස හෙරොයින් පානය කිරීම සඳහා යොමුව සිටින අයකු බවත්, ඒ සඳහා මුදල් ලබා ගැනීමට මෙම අපරාධ සිදුකරන බවත්, පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. එසේම සැකකරු වයස අවුරුදු 29ක පුද්ගලයකු බවද ඔහුගේ සත්‍ය නම් ගුණතිලකලාගේ සජිත් නයනජිත් බණ්ඩාර බවද පොලිසිය කියා සිටියේය.

සැකකරු ඉකුත් 7 වැනිදා ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර සැකකරු මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අධිකරණය මඟින් නියෝග කර ඇත.

ගල්ගමුව පොලිස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතාගේ මූලීක උපදෙස් හා මඟ පෙන්වීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක  ජයරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදුකර තිබේ. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වේ.

ගල්ගමුව - අරෝෂණ මන්ප්පෙරුම