කාලයක් තිස්සේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයන් ඩුබායි නගරයේ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටියදී එම ව්‍යාපාර සඳහා එහි බැංකුවලින් ලබාගත් ඩිරාම් 252,000ක (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටියකට ආසන්න මුදලක්) ණය මුදලක් යළි ගෙවාගත නොහැකිව ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එහි සිරවී සිටින ශ්‍රී ලාංකික පවුලක් පිළිබඳව එරට පළවන ගල්ෆ් නිව්ස් පුවත් වෙබ් අඩවිය ඊයේ (19) වාර්තා කළේය. මෙම තත්ත්වයට
මුහුණ පා ඇත්තේ මොහොමඩ් ෆෙරාට් අබ්බාස් සහ ඔහුගේ බිරිඳ වන ඉෂාරා විජේතුංග යන යුවළ හා ඔවුන්ගේ 5 හැවිරිදි සහ 6 හැවිරිදි දරුවන් දෙදෙනාය.

මොහාමඩ් ෆෙරාට් අබ්බාස් 2008 වසරේ සිට ඩුබායිහි පෞද්ගලික ආයතනයක සේවය කර ඇතත් 2016 වසරේදී ඔහුට සිය රැකියාව අහිමි වී ඇත. ඉන් අනතුරුව ෆෙරාට් අබ්බාස් සහ ඔහුගේ බිරිඳ විවිධ ව්‍යාපාරවල නිරතව ඇතත් කලක් ලාභ ලැබූ එම ව්‍යාපාර පසුව බංකොලොත් වී ඇති බව ද ගල්ෆ් නිව්ස් පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. එම ව්‍යාපාරය සඳහා එමීර් රාජ්‍යයේ බැංකු මඟින් ගත් ණයපත් (ඕ.ඩි.)

සහ ලබාගත් බැකු ණය වාරික නොගෙවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට  නැවත ලංකාවට පැමිණීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයන් අවසර හිමි නොවන බව ද එහි සඳහන් වේ.

ගෙවාගත නොහැකි ණය බර හේතුවෙන් මාස 10ක් පමණ සිරගතව සිටී අබ්බාස් මහතාගේ බිරිඳට මේ වනවිටත් එරටින් සංචාරක තහනමක් පනවා ඇති අතර සිය දරුවන් දෙදනා සමඟ යළි ලංකාවට පැමිණිමට නම් ඇයට ඩිරාම් 52,000ක මුදලක් ගෙවිය යුතු වේ. ඔවුන් සියලු දෙනාගේ වීසා බලපත්‍ර කාලය ද මේ වනවිට අවසන්ව ඇති බව ද එම වාර්තාවල දැක්වේ. එසේම  මොහොමඩ් ෆෙරට් අබ්බාස් මහතා ද ඩිරාම් ලක්ෂ දෙකක ණයකර ක්‍රෙඩිට් කාඩ්පත් ගෙවීමට ඇති බව ද ගල්ෆ් නිව්ස් වාර්තාවේ සඳහන් වේ.

සිය මව්පියන්ගේ ණය බර හේතුවෙන් පාසල් අධ්‍යාපනයක් නොලබන ඔවුන්ගේ දරුවන් දෙදනා මේ වනවිට පවුල් මිතුරන් විසින් ලබාදුන් කුඩා කාමරයක ජීවත් වන බව ද වාර්තා වන අතර මෙලස කිසිදු ආදායමක් නොමැතිව ණය ගෙවා දමන්නේ හෝ ඩුබායි නගරය තුළ  රැඳී සිටින්නේ ද යන්න ගැටලු සහගතම බව ෆෙරාට් අබ්බාස් එම පුවත් වෙබ් අඩවිය වෙත වැඩිදුරටත් සඳහන් කර ඇත.

අසීරුතාවට පත්ව සිටින

මෙම ලාංකික පවුලට අවශ්‍ය උදව් උපකාර කිරිමට එමීරයේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා නිරන්තරයෙන් පෙනී සිටින 'සහන' සුබසාධන සංගමය ඉදිරිපත් වී සිටින අතර එහි කළමනාකාර ඇල්බඩ් ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා ගල්ෆ් නිව්ස් වෙත මෙම තොරතුරු සනාථ කර තිබේ. මෙවැනි තත්වයක් හමුවේ ඔවුන් මුහුණ පා සිටින අසීරුතා යම් දුරට අඩුකර ගැනීම වෙනුවෙන් "සහන' සිය සංවිධානය විසින් ආහාර ඇතුළු අනෙකුත් මූලික අවශ්‍යතා සැපැයීමට කටයුතු කරන බව ද හෙට්ටිආරච්චි මහතා ගල්ල නිව්ස් වෙත වැඩිදුරටත් පැවැසුවේය.

එසේම ඔවුන්ට ලංකාව බලා යෑමට තාවකාලික ගුවන් ගමන් බලපත් නිකුත් කිරිමට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය කටයුතු කර ඇතත් ඔවුන්ට ගෙවාගත නොහැකි අධික ණය බර ලිහිල් කර ගැනීම සඳහා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කිරීමට සංගමය කැමැත්තෙන් සිටින බව ද ඔහු කියා සිටී.

-තිලිණිද සිල්වා-