ශ්‍රී ලංකාව සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ඉනිමකින් සහ ලකුණු 65කින් ජයගැනිමට නවසීලන්ත කණ්ඩායම අද සමත් විය. කොළඹ පී සරා ක්‍රීඩා පිටියේ වර්ෂා බාධා සහිතව පැවති මෙම තරගය ශ්‍රී ලංකා පිලේ දුර්වල පිතිකරණය නිසා විසඳුමක් සහිතව නිමා කරගන්නට නවසීලන්තය සමත්වීම විශේෂිතය.

තරගයේ මුල් දිනවල වර්ෂාව බාධා කළ නිසා ශ්‍රී ලංකා මුල් ඉනිම ඉතා මන්දගාමී වූ අතර දින 2 ක්ම ශ්‍රී ලංකාව ක්‍රීඩා කර තිබුණි.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන්
ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 244ක් රැස් කරගත් අතර නවසීලන්තයේ පළමු ඉනිම කඩුලු 06ක් දැවි ලකුණු 431ක් දක්වා සාර්ථක විය.
 ටොම් ලේතම් ලකුණු 154ක් ලබා ගැනීම මෙහිදී විශේෂිත විය.
දෙවන ඉනිම ක්‍රිඩා කිරිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 05 ලකුණු 32ක් තුළදී බිද වැටුණ අතර  ශ්‍රී ලංකා පිලේ සියලුදෙනා ලකුණු 122කට දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් විය.
ඒ අනුව නවසීලන්ත පිල ලකුණු 187ක් ඉදිරියෙන් සිටිමින් ජයගත්තේය.
 ශ්‍රී ලංකා පිලේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 51ක් රැස්කර ගත් අතර, නායක දිමුත් ලකුණු 21ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 20ක් ලබාගත්තේය.අනෙකුත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු විස්සේ සීමාව පසු කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත.
පන්දු යැවීමේදී ටිම් සවුති, ට්‍රෙන්ට් බෝල්ට්, පටේල් සහ විලියම් සෝමර්විල් කඩුළු 2ක් බැගින් දවා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා සම්මානය ටොම් ලේතම්ට හිමිවිය.
 මෙම ජයග්‍රහණයත් සමග තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය එකට එකක් ලෙස සම වූ අතර ජාත්‍යන්තර ටෙස්ට් ලෝක කුසලානය වෙනුවෙන් ප්‍රසාද ලකුණු 65 ක් ලබාගන්නට නවසීලන්තයට හැකි විය.