ඓතිහාසික කුරගල පුරාවිද්‍යාත්මක ස්ථානයේ පිහිටි ප්‍රධාන මුස්ලිම් පල්ලිය සහිත ගොඩනැගිල්ල හා සොහොන් කොත් පමණක් භූමිය තුළින් ඉවත් කිරීමට ඉතිරිව තිබෙන බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.

මෙම ගොඩනැගිල්ල සහ සොහොන් කොත් සඳහා ඉඩකඩ සහිත වෙනත්  ඉඩමක් මුස්ලිම් පල්ලියේ භාරකරුවන්ට  ලබාදී තිබෙන බවද එම අමාතයංශය පවසයි.

කුරගල පුරාවිද්‍යාත්මක ස්ථානයේ පැවැති විශ්‍රාම ශාලා 02ක්, වෙළෙඳ සැල් 03ක්, මුස්ලිම් පල්ලියට අයත් 
ශාලා ගොඩනැගිලි 04ක්, වැසිකිළි 06ක් හා කොඩි කණු 02ක් මේ වනවිට ඉවත් කර තිබෙන බවද සංස්කෘතික කටයුතු අමාතහංශය සඳහන් කරයි.

අක්කර 52, රූඩි 02, පර්චස් 19ක බිම් ප්‍රමාණයක මායිම් කණු යොදා පුරාවිද්‍යා  මායිම් නිරවුල් කර මෙම භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තූව මගින් පවත්වාගෙන  යන බවද එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එහි පිහිටි ගල්ලෙන් ආශ්‍රිත භූමිය සහ කාර්යාලය ආශ්‍රිත භූමිය සෝදා යාම වැළැක්වීමට ගල්වැටි යොදා භූමීය සකස් කිරීම, ප්‍රදර්ශිත දාගැබ් වෙත ළඟාවීමට පඩි බැඳ මාර්ගයක් සකස් කිරීම, ප්‍රදර්ශිත දාගැබේ කඩතොලු වී තිබූ ස්ථාන බැමි බැඳ පොයින්ට් කර සංරක්ෂණය කිරීම, ප්‍රදර්ශිත දාගැබ වටා ඇති වැට සකස් කර තීන්ත ආලේප කිරීම සහ ජලය හා විදුලිය පුරාවිද්‍යා ස්ථානය වෙත ලබාදීම සිදුකර ඇති බවත් එම අමාත්‍යාංශය පවසයි.

එසේම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවකයන් හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් විසින් පුරාවිද්‍යා ස්ථානයක් ලෙස කුරගල පුදබිම පවත්වාගෙන යන බවත්, එම ස්ථානය සංරක්‍ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරාවිද්‍ය සහයකයන්. මුරකරුවන් දෙදෙනෙකු හා නිලධාරියෙකු යොදවා තිබෙන බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.

-අමිත් මධුරංග-