යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ පත් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා.

මීට පෙර එම තනතුරේ කටයුතු කළේ නව යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වායි.

තර්ස්‌ටන් විද්‍යාලයේ කිර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ 1981 වර්ෂයේ පාසල් රග්බි පාපන්දු කණ්‌ඩායමේ නායකයා වශයෙන් හා 1983 වර්ෂයේ පාසල් ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය දරමින් විද්‍යාලයීය වර්ණ දිනාගෙන ඇත.

ඉන් අනතුරුව 1984 මාර්තු මස 04 දින
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට කැඩෙට්‌ නිලධාරියෙකු ලෙස බැඳී 1985 නොවැම්බර් මස 16 දින දෙවන ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත්වීමෙන් පසු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකාය වෙත ඇතුළත් කරන ලදී.

මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති සියලුම යුද්ධ හමුදා මෙහෙයුම් සඳහා සිය සක්‍රීය දායකත්වය ලබා දුන් අතර යුද සමයේ අතිශය තීරණාත්මක සන්ධිස්‌ථානයන් හිදී විවිධ ස්‌ථරයන් යටතේ අණදීම සිදුකර ඇත.

අවසන් මානුෂීය මෙහෙයුමේදී අනුපමේය සේවාවක්‌ ඉටු කළ 03 වන කාර්ය සාධක බළකාය නගා සිටුවමින් අණදීම සිදුකළ අතර යුදමය වශයෙන් ඉතා වැදගත් මාන්කුලම් වැනි එල්ටීටීඊ ත්‍රස්‌තවාදී මර්මස්‌ථාන අත්පත්කර ගැනීමට ඔහුගේ අණදීම යටතේ යුද හමුදාවට හැකිවිය.

පසුව 52 වන සේනාංකය හා 64 වන සේනාංකයට අණ දීම සිදුකළ අතර, පශ්චාත් යුද සමය තුළ යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ සහ ඔවුන්ගේ ජන ජීවිතය යථා තත්වයට පත්කර ගැනීමට මහඟු දායකත්වයක්‌ සපයනු ලැබීය.

ඊට අමතරව සපුගස්‌කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්‌ඩලික විද්‍යාලයේ ප්‍රධාන උපදේශක වශයෙන්ද කටයුතු කළ ඔහු 2015 වර්ෂයේදී
ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි වශයෙන් පත් කරනු ලැබීය.

පසුව 2016 වර්ෂයේදි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධෝපකරණ මාස්‌ටර් ජෙනරාල් වශයෙන්ද තම රාජකාරි ඉටුකරනු ලැබීය.

මේජර් ජෙනරාල් ලියනගේ වසර 34 ට ආසන්න යුධ හමුදා සේවා කාලය තුළදී යුද බිමේදී දක්‌වන ලද වීරත්වය වෙනුවෙන් පිදෙන වීර වික්‍රම විභූෂණ සහ රණ වික්‍රම පදක්‌කමින් පිදුම් ලබා ඇති අතර යුද හමුදාවට වූ මහත් සේවය වෙනුවෙන් පූර්ණ භුමි පදක්‌කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්‌කම, ශ්‍රී ලංකා හමුදාවේ 50 වැනි සංවත්සර පදක්‌කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිගු සේවා පදක්‌කම, රිවිරැස මෙහෙයුම් පදක්‌කම, 50 වැනි නිදහස්‌ සැමරුම් පදක්‌කම, මානුෂීය මෙහෙයුම් නැගෙනහිර පදක්‌කම, මානුෂීය මෙහෙයුම් උතුර පදක්‌කම වැනි පදක්‌කම් රාශියකින් පිදුම් ලබා ඇත.

යුධ පෙරමුණේ මෙන්ම කෙළිබිම තුළද ජයකෙහෙලි නැංවීමට සමත් වූ ඔහු යුධ හමුදාව තුලදීද දක්‌වන ලද ක්‍රීඩා දක්‍ෂතා සඳහා යුධ හමුදා වර්ණ දිනා ගැනීමටද ඔහු සමත් වූ අතර 1984 සිට 1994 දක්‌වා යුධ හමුදා රග්බි කණ්‌ඩායම නියෝජනය හා 1994 දී ඔහුගේ නායකත්වය යටතේ යුධ හමුදාව අන්තර් සමාජ රග්බි තරගාවලියට සහභාගිවන ලදී.

මීට අමතරව යුධ හමුදා ක්‍රිකට්‌ කණ්‌ඩායම නියෝජනය කරමින් ක්‍රීඩාව පිළිබඳව දක්‍ෂතාවයන් මැනවින් පෙන්වා ඇත.