අධිකරණ තීන්දුවක් ක්‍රියාත්මක කිරීම පැහැර හැර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිල්ල, කොළඹ මහේස්ත්‍රාත්
ලංකා ජයරත්න මෙනවිය ඊයේ (23) ප්‍රතික්ෂේප කර තිබේ.

එම නියෝගය ලබාදෙමින් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ පැමිණිල්ල විභාග කිරීමට තරම් සාධාරණ නීතිමය පදනමක් නොමැති බවය.

නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නා ලෙස,

2015.03.04 හා 2015.06.18 යන දිනවලදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් කල නියෝගවලට අවනත නොවී, සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ඔවුන් අත්අඩංගුවට ගැනීම ඕනෑකමින්ම මගහැරීමෙන් ශානි අබේසේකර මහතා දණ්ඩ නීති සංග්‍රහයේ 216(ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට නීතිය ජාලිය සමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධව කරුණු දැක්වීම සඳහා ශානි අබේසේකර මහතා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කරන ලෙසත් අධිකරණය හමුවේ පෙනී නොසිට විදේශගතවීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසත් පැමිණිලිකාර නීතීඥ ජගත් ජාලිය සමරසිංහ මහතා සඳහන් කර තිබිණි.