https://www.gossiplankanews.com/2019/08/puttalam-murder-dead-body-found-coconut-farm.html
පුත්තලම - පුලිදිවායල් ප්‍රදේශයේ පදිංචිව සිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුව ඝාතනය කර පොල් වත්තක වළදැමීමේ අභිරහස් සිදුවීමක් පසුගිය 15 වනදා වාර්තා විය.
ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා පොල් වතු කීපයක හිමිකරුවෙකු වන  අතර,ඊට අමතරව පොලී පදනම මත මුදල් ලබා දෙන අයෙකුය.තමන් විසින් ලබා දුන් මුදල් වල පොලී එකතු කිරීම සදහා පසුගිය 11 වැනිදා ප.ව.2.30 ට පමණ නිවසින් පිටත්ව ගොස් ඇති ව්‍යාපාරිකයා
ඉන් පසුව නැවත තම නිවසට පැමිණ නැත.ස්වාමි පුරුෂයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයාගේ බිරිද 12 වැනිදා පුත්තලම පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබිණි.
 විමර්ශන කටයුතු සිදු කිරීම සදහා පුත්තලම පොලීසියේ අපරාධ විමර්ශන අංශයට විශේෂ කාර්යංශයේ සහ පොලිස් බුද්ධි අංශයේද

සහාය ලැබී ඇත.
එම නිලධාරීන් ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති සහ ව්‍යාපාරිකයාගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂණ
වාර්තා ලබා ගත් පසු අනාවරණය වී ඇත්තේ ඝාතනයට ලක්ව ඇති ව්‍යාපාරිකයා අවසන් වරට පොලී මුදල් ගත් පුද්ගලයෙකුගේ නිවසට ගොස් ඇති බවත්, පසුව සැකකරුගේ ඩයිඩෝ වීල් රථයක් නිවසින් පිටත්ව ගොස් ඇති බවත්ය.එම රථය සැකකරුගේ නිවසේ සිට කිලෝ මීටර් 04 ක් පමණ දුරින් පිහිටි පොල් වත්තක් වෙත ගොස් ඇති බවද අනාවරණය කර ගෙන ඇත.

පසුව කළ නිරීක්ෂණයේදී පොල් වත්තේ ඇති අළුතින් පස් ඉවත් කරන ලද ස්ථානයක් සම්බන්ධයෙන් පොලීසිය තම අවධානය යොමු කර
ඇත.පොල් අතු සහ පොල් කොටන් යොදා ආවරණය කර තිබූ එම ස්ථානයේ කිසියම් දෙයක් වළ දමා ඇති බවට සැකයක් ඇතිව තිබුණි.

 15 වැනිදා දහවල් පොලී මුදල් ගත් සැකකරුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය කටයුතු කළ නමුත් සැකකරු පොලීසිය හමුවේ කිසිවක් නොදන්නා බව කියා තිබුණි.

පුත්තලම පොලීසියේ නිලධාරීන් දිසා විනිසුරුවරයාගේ නියෝගය මත 15 වැනිදා සවස සැකකටයුතු ස්ථානයේ කැණීම් කටයුතු සිදු කරන ලද අතර කැණීම් කරන ලද ස්ථානයේ වළ දමා තිබූ ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට
හැකියාව ලැබුණි. පුත්තලම දිසා විනිසුරුවරයා මෙන්ම පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීනී නදීකා
අබේවික්‍රම මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පසුව පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මල සිරුර පුත්තලම මූලික රෝහල වෙත රැගෙන ගිය අතර පෙර කී
සැකකරු ගෙන් තව දුරටත් ප්‍රශ්ණ කිරීමේදී ඝාතනයේ සුල මුල අනාවරණය වී ඇත.
සැකකරු මමියගිය අයගෙගෙන් රුපියල් ලක්ෂ 03 ක මුදලක් තමන් පදිංචි ඉඩම උගසට තබා ලබා ගෙන ඇති බව හෙලිවී ඇත.

"මම මාසයකට රුපියල් 30,000 ක් පොලිය විතරක් ගෙවන්න ඕනේ.සිද්ධියවෙූ දිනයේ එයා මගේ ගෙදර ඇවිත් මට බැන්නා.උඹලගේ ගේ මට සින්න වෙලා තියෙන්නේ.ඒ හින්දා හෙටම  ගෙදරින් යන්න කියලා කිව්වා.
ඒ වෙලාවේ මට ආපු තරහට ගෙදර තිබුණු යකඩ මෝල් ගහකින් එයාට ගැහුවා.පස්සේ  සිරුර මගේ ඩයිඩෝ වීල් එකේ දාගෙන කිලෝ මීටර් 04 කට විතර එහා තියන පොල්
වත්තේ වළ දැම්මා" යැයි සැකකරු පොලීසිය හමුවේ පාපොච්චාරණය කරමින් පවසා ඇත.

ඝාතනයට යොදා ගත් බව කියන කුඩා ප්‍රමාණයේ යකඩ මෝල් ගහක් සහ මල සිරුර ප්‍රවාහනයට යොදා
ගත් ඩයිඩෝ වීල් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
ඝාතනයට ලක්ව ඇත්තේ පුත්තලම - පුලිදිවායල් ප්‍රදේශයේ පදිංචිව සිටි ඒ.ආර්.එම්.ෆායිස් (අවු:36) නම්වූ දෙදෙරු පියෙකුය. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන 50 හැවිරිදි කුලී රථ රියදුරෙකුය.
 වැළළී යාමට ඉඩ තිබූ මිනිස් ඝාතනයක් පුත්තලම පොලීසියේ නිලධාරීන් ඇසින් දුටු සාක්ෂියක් නොමැතිව අනාවරණය කර ගැනීමට සමත්වී ඇත.

නාත්තන්ඩිය - සමන්ප්‍රිය ජයශාන්ත