ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවක් හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇයගේ සැමියා ඇතුළු ඥාතීහු පැමිණිල්ලක් කර ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මුණගම, දික්හේනපුර පදිංචිව සිටි ටී.එම්.නිර්මලා නිශා කුමාරී (අවු.25) නමැත්තියකි.

හොරණ මූලික රෝහලට අනුයුක්තව කරන මාතෘ හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී මරණකාරිණිය අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කර තිබෙන අතර, එහිදී දරුවා හා මව හොඳින් සිටින බව අදාළ වෛද්‍යවරයා පවසා තිබූ බවත්, ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවිකාවකගෙන් උපදෙස් ඒ අයුරින් පිළිපදිමින් කටයුතු කළ බවත්, පැමිණිල්ලේ සඳහන් වේ.

වෛද්‍ය උපදෙස් මත පසුගිය 20 වැනිදා හොරණ
මූලික රෝහලට ඇතුළත් කළ මරණකාරීණිය එහිදී සාමාන්‍ය පරිදි දරුවා ප්‍රසුත කිරීමට කටයුතු කළද එය නොහැකිවූ කළ සිසේරියන් සැත්කම සිදුකර ඇති බවත් මෙම සැත්කම් නුපුහුණු වෛද්‍යවරුන් පිරිසක් සිදුකර ඇති බවත් මරණකාරියගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

මේ පිළිබඳව හොරණ මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී අයන්තිකා ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී මෙසේ පැවසුවාය..
"අප රෝහලේ මාතෘ මරණයක් සිද්ධවෙලා තියනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනගත් වහාම ක්‍රියාත්මක වුණා, ආසන්න මට්ටමින් මූලික විමර්ශනයක් හිමි වින වනවිටත් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් මාතෘ මරණයකදී සිදුකරන විමර්ශනය සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි අපි දැනටත් යවලා තියෙනවා. තවමත් අප ආයතන මට්ටමින් විමර්ශන සිදුකරන නිසා දැන්ම ප්‍රතිඵලය ගැන කියන්න අපහසුයි."

මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
"එම මාතෘ මරණය සිදු වූ වහාම හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය ඒ බව වාචිකව හා ලිඛිතව දැනුම් දුන්නා. එම හදිසි මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක්ම මේ වනවිටත් විමර්ශන ආරම්භ කරලා තියනවා. සෞඛ්‍ය. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය මෙම මාතෘ මරණය කෙරෙහි යොමු කරලා තිබෙනවා.අදාළ මරණය සම්බන්ධයෙන් මියගිය අයගේ ඥාතීන්ගෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබුණේ නැහැ.
ඒ කෙසේ වෙතත් විශේෂ කටයුත්තක් සේ සලකා සෑම අංශයකින්ම මේ පිළිබඳ විමර්ශන පවත්වනවා."

මියගිය කාන්තාවගේ ඥාතීන්ගෙන් පොලීසියට ලද පැමිණිල්ල අනුව හොරණ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා හොරණ මූලික රෝහල් මාතෘ ශරීරාගාරය වෙත ගොස් මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කළේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බන්දුල විජේසිංහ මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවත්, ශරීර කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට තීරණය කළ බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ඉන්දික ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ