https://www.gossiplankanews.com/2019/08/plastic-flower-ajith-weerasinghe-lanka-leaders.html
ප්‍රසිද්ධ නළුවෙකු විසින් චීනයේ සිට මෙරටට ගෙන්වූ ප්ලාස්ටික් මල් තොගයක් රේගු බදු නොගෙවා වංචා කිරීමේ සිද්ධියක් පසුගියදා වාර්තා විය. ලැබී ඇති ආරංචි අනුව මෙම සිද්ධියට සම්බන්ධව සිටින්නේ ටෙලි හා සිනමා නළු අජිත් වීරසිංහයි.
බිත්ති කාපට් ගෙන එන මුවාවෙන් ගෙනැවිත් තිබූ ප්ලාස්ටික් මල්
තම නිෂ්පාදන ආයතනය වන අජිත් ෆිල්ම්ස් ආයතනයට ටෙලි නාට්‍ය හා චිත්‍රපට වෙනුවෙන් භාවිත කරන බව නළුවා රේගුවට පවසා තිබේ. එහෙත් දිගින් දිගටම මේ ආකාරයට බිත්ති කාපට් ගෙන ඒම ගැන සැක සිතූ රේගු නිලධාරීන් අදාළ නළුවාගෙන් මේ ගැන විමසා බහාලුමක් විවෘත කර බැලීමේදී අදාළ බහාලුමේ තිබී ඇත්තේ බිත්ති කාපට් නොව ප්ලාස්ටික් මල්ය. මේ ගැන නළුවාගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ තමන් චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරන බැවින්
අදාළ මල් අවශ්‍යවූ බවයි.

 මෙම බහාලුම 2018 ඔක්තෝබර් මාසයේදී එළියට ගෙන යෑමට උත්සාහ කිරීමේදී රේගු නිවාරණ අංශය මඟින් නවතා ඇත. එම බහාලුම වරායෙන් පිටමං කිරීමට නොදී එම අවස්ථාවේ රේගු නිවාරණ අංශයේ අත්අඩංගුවට පත්විය. කෙසේ හෝ බහාලුම පිටතට ගෙන යෑමට නොදී රේගු නිවාරණ අංශය විමර්ශන අරඹා  මුලින්ම අනාවරණය කරගෙන තිබුණේ වෝල් කාපට් ලෙස නම්කොට ප්ලාස්ටික් මල්
ගෙනැවිත් තිබෙන්නේ සෙස් බදු හා අනෙකුත් බදුවලින් බේරීම සඳහා බවය.
ලංකාවට ගෙන එන ප්ලාස්ටික් මල් කිලෝවක් සඳහා රුපියල් දහසක සෙස් බද්දක්

රේගුව අයකර ගනී. නමුත් අජිත් ෆිල්ම්ස් ආයතනය ප්ලාස්ටික් මල් ගෙනැවිත් වෝල් කාපට් ලෙස නම් කර අඩු බද්දක් රේගුවට ගෙවා බඩු පිටමං කිරීමට උත්සාහ දරා ඇත.
විමර්ශන කටයුතුවලදී අදාළ ටෙලි නළුවාගෙන් රේගුව විමසා ඇත්තේ අදාළ නැති භාණ්ඩවලට අයත් අංකයක් යොදාගෙන ප්ලාස්ටික් මල් ගෙන ආවේ ඇයිදැයි කියාය. එහිදී ටෙලි නළුවා කියා ඇත්තේ මීට පෙරද භාණ්ඩ ගෙන ඒමේදී අනුගමනය කළේ එම ක්‍රියා මාර්ගය බවයි.
මෙහිදී ඇති වූ වාදයත් සමඟ නළුවාම ඉල්ලා ඇත්තේ මේ ගැන වැඩිදුර විමර්ශනය කරන ලෙසයි. එහිදී
රේගුව මේ සම්බන්ධව සොයා බලා තීන්දු ලබාදෙන වර්ගීකරණ අංශය වෙත භාරදෙන ලදී. එහිදී වර්ගීකරණ අංශයේ නිගමනය වූයේ ටෙලි නළුවාට වෝල් කාපට් මුවාවෙන් ප්ලාස්ටික් මල් ගෙන ඒමට ලබාදී තිබූ අංකය වැරැදි බවයි.

මේ ගෙන ආ ප්ලාස්ටික් මල් එකින් එකට ගැලවිය හැකි පරිදි ගෙන විත් ඇත්තේ සිනමා නිෂ්පාදන සඳහා යෙදවීමට නොව ව්‍යාපාරයකට බව පැහැදිලි යැයි ශ්‍රී  ලංකා රේගුව ඉන් අනාවරණය කරගෙන තිබිණි. මේ හේතුවෙන් තවදුරටත් වැඩිදුර
විමර්ශනය කිරීමේදී රේගු නිලධාරීන් සොයාගෙන තිබුණේ නළුවාට අයත් සමාගම හරහා මීට පෙර ගෙනැවිත් තිබූ බහාලුම් සඳහාද නිසි තීරු බදු නොගෙවා වංචා කොට ඇති බවකි.
මෙහි ඇති හොරකම සහ වංචනික ක්‍රියාව ඔප්පු කර ගැනීමට රේගු විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ.
අජිත් ෆිල්ම්ස් සමාගමට අමතරව ප්ලාස්ටික් මල් විකුණන ව්‍යාපාරයක්  සිදු කරන ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගමද හිමි ජනප්‍රිය ටෙලි නළුවා ශ්‍රී  ලංකා රේගුවේ විමර්ශන නිලධාරීන් නොමඟ යවා තිබුණි.
මේ කාර්යයේදී නළුවාට රේගුවේ විශ්‍රාම ගිය නිලධාරියකුගේ සහ ඇතුළේම සිටින නිලධාරීන් පිරිසක් උදවු කර තිබේ. තම සේවාදායකයා අතින් වරදක් සිදුවී නැති බව කියමින් අදාළ නිලධාරීන් රේගුවේ ඉහළ නිලධාරීන් වෙතද දැනුම් දී ඇත.

මේ නළුවා මෙතෙක් ගෙන ආ ප්ලාස්ටික් මල් බහාලුම් වෙනුවෙන් කරන ලද වැරැදි ගැන රේගුව විශේෂ අවධානය යොමු විය. එහිදී ඔහු විසින් කළ පෙර වැරැදී කිහිපයක් හසු වී තිබේ. ඒ අනුව මින් පෙර ලංකාවට ගෙන ආ බහාලුම්වලට අදාළ රේගු බදු පැහැරහැරීම මත
රුපියල් හැටලක්‍ෂ විසි තුන්දහස් එකසිය අනූනවයක් ගෙවීමට රේගුව නියම කරන ලදී. නමුත් එහිදී අදාළ
නළුවා රේගුව හමුවේ ඉල්ලා ඇත්තේ තමන් ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයකු බවත් මේසා අසාධාරණයක් නොකර සාධාරණ ගණනක් නියම

කරන ලෙසය. එහිදී රේගුවේ විමර්ශන නිලධාරියකු රුපියල් හැට ලක්‍ෂ විසිතුන් දහස් එකසිය අනූනවයක් ගෙවනවා වෙනුවට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් ගෙවීමට නියම කළේය.

එසේ තිබියදී ලංකා ලීඩර්ස් පෞද්ගලික සමාගමේ හිමිකරු වන මේ නළුවා කළේ තමන්ට ප්ලාස්ටික් මල්
අවශ්‍ය නැති බව රේගුවට ලිඛිතව දැනුම් දුන් අතර ඔහු හේතු සාධක ලෙස පෙන්වා ඇත්තේ තමන් මල් ගෙන ආ චිත්‍රපටය පටිගත කර අවසන්ව ඇති නිසා මේ මල් ටිකෙන් වැඩක් නැතැයි කියාය. ඉන්පසු ශ්‍රී  ලංකා රේගුව විමර්ශන තාවකාලිකව නවතා ඉදිරි පියවර ගැන බැලීය. ප්ලාස්ටික් මල් තොගය නිදහස් නොකර ගන්නා නිසා මේ සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරි තීන්දු කළේ අදාළ මල් තොගය
විකිණීමටය. ඒ හරහා රජයට හිමිවිය යුතු මුදල ලබා ගැනීමටය. මල් ගෙන ආ නළුවා මල් බහාලුම රැගෙන නොයන නිසාත් ඔහු එය නිදහස් කර ගැනීමට අකැමැති වූ නිසාත් ටෙන්ඩර් පටිපාටියකට යටත්ව මල් තොගය විකිණීමට සැලසුම් සකස් කෙරිණි.  හිටපු රේගු නිලධාරීන් කිහිපදෙනකු එකතුව මේ මල් සඳහා ඒ අයගේ තක්සේරුවක් ගෙන තිබිණි.

ඔවුන් මේ තක්සේරුව කර තිබුණේ හරි අපූරු ආකාරයටය. නළුවාට අදාළ බහාලුම නිදහස් කර ගැනීමට රුපියල් ලක්‍ෂ 25ක මුදලක් නියම කර තිබියදී රේගු මධ්‍යම අපහරණ අංශයේ නිලධාරීන් එය රුපියල් එක්ලක්‍ෂ පනස්හය දහසකට තක්සේරු කර ඇත. අනෙකුත් බදුද සහිතව ප්ලාස්ටික් මල් ඇසුරුම් බහාලුම රුපියල් එක්ලක්‍ෂ අනූපන් දහසකට විකිණීමට එම නිලධාරීන් තීරණය කොට විකුණා ඇත.
 එම මල් තොගය නළුවාටම විකුණා තිබේ. එම බහාලුම නිදහස් කරගෙන ඇත්තේ අජිත් වීරසිංහ හෙවත් ඩබ්ලිව්.ඒ.ඒ. වීරසිංහ යන නළුවාගේ නමින්මය. ඒ පසුගිය ජූලි 5 වනදාය. නිලධාරීන් සමඟ ඇති කරගත් යටිකූට්ටු වැඩක ප්‍රතිඵලයක් ලෙස එය විකුණා ඇත.

එය සිදු කර ඇත්තේ ප්ලාස්ටික් මල් අඩංගු බහාලුම ජපානයේ වෙයාර් හවුස් එකකට විකුණුවා යැයි කියමිනි. අදාළ ජපාන
වෙයාර් හවුස් එකේ හිමිකරු ලෙස ප්ලාස්ටික් මල් තොගය මිලදී ගන්නේද නළුවාම වීමද විශේෂත්වයකි. රේගුවරවටා රේගු නිලධාරීන් විසින්ම මේ වංචාව කර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණයවේ.

තොරතුරු - ප්‍රගීත් සම්පත් කරුණාතිලක