පානම, පීනට්‌ ෆාම් මුහුදේ දියමත ලිස්‌සා යැමේ ක්‍රීඩාවේ නිරතව සිටි විදේශිකයන් දෙදෙනකු මුහුදේ ගසාගෙන යැමේදී ජීවිතාරක්‌ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇතැයි පානම පොලිසිය පවසයි.
 මෙසේ අනතුරට ලක්‌ව ඇත්තේ
වයස අවුරුදු 24 ක්‌ වූ ඊශ්‍රායල් ජාතික කතල් බොන්ටාල් නමැති තරුණයකු සහ වයස අවුරුදු 21 ක්‌ වූ ඊශ්‍රායල් ජාතික බිකිනො කේට්‌ නම් තරුණියකි. මොවුන් දෙදෙනා 27 දා සවස 5.30 ට පමණ පීනට්‌ ෆාම් මුහුදු වෙරළෙන් මුහුදට බැස ඇති අතර සුළු වේලාවකින් මොවුන් දෙදෙනාම දිය වැලකට හසුවී ගසාගෙන ගොස්‌ ඇත.

 නමුත් ඒ දෙස උකුසු ඇස්‌ යොමා සිටි පානම පොලිසියට අනුයුක්‌තව සේවය කරන ජීවිතාරක්‌ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වුවද එය එතරම් පහසු කටයුත්තක්‌ නොවූයේ ඒ මොහොතේ මුහුදේ තිබුණු ප්‍රචණ්‌ඩත්වය හේතුවෙනි. නමුත් උත්සාහය අත්නොහල නිලධාරීන් පැය භාගයක පමණ සටනකින් පසුව දෙදෙනාම නිරුපද්‍රිතව ගොඩට ගෙන එන ලදී. මෙම මෙහෙයුම පොතුවිල් සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රදීප් කුමාර මහතාගේ නියෝග මත පානම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක රොෂාන් ජයසිංහ මහතාගේ උපදෙස්‌ පරිදි පොලිස්‌ කොස්‌තාපල් (79541) හර්ෂ, පොලිස්‌ කොස්‌තාපල් (79128) සමින්ද, පොලිස්‌ කොස්‌තාපල් (44270) අමරනායක යන නිලධාරීන් විසින් සිදු කරන ලදී.

පානම - දිනේෂ් චන්ද්‍රපාල