රැකියා සඳහා ඊශ්‍රායලයට යවන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන රැකියා නොදුන්නේ යැයි
කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ හිමිනම ලබන මස 4 වැනිදා දක්වා

තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා
පෙරේදා (26දා) නියෝග කළේය.
හිමිනම වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් හිමි නමට ඇප ඉල්ලා සිටි අතර මහෙස්ත්‍රාත්වරයා ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් භික්ෂු
පෙරමුණේ සංවිධායකවරයා ලෙස කටයුතු කර ඇති හිමිනමකි.

ඔහුට එල්ලවී ඇති චෝදනා වනුයේ විදුලි සන්දේශ ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා
අමාත්‍යවරයාගේ ව්‍යාපෘතියක් අනුව එම අමාත්‍යාංශයෙන් මුදල් අය නොකර ඊශ්‍රායලයට රැකියා
සඳහා යවන ව්‍යාපෘතියකට අදාළව ඊශ්‍රායලයේ රැකියාවන් සඳහා ඉල්ලුම් කළ පුද්ගලයන් 4
දෙනකුගෙන් ලක්ෂය බැගින් ලක්ෂ 4 ක මුදලක් ලබාගෙන රැකියාවලට නොයවා මුදල් ලබාගෙන වංචාවක්
සිදුකිරීමයි.

කොම්පඤ්ඤවීදිය පොලිසිය මඟින් හිමිනමට එරෙහිව එක් නඩුවක් පවරා ඇති අතර වංචා කිරීම සම්බන්ධයෙන්
පැවරූ තවත් නඩු 3ක් කොටුව පොලිසිය මඟින් පෙරේදා (26දා) දින අධිකරණයට ඉදිරිපත් කළේය.

එම නඩු සම්බන්ධයෙන්ද ඇප ලබාදීම මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර ලබන මස 6
වැනිදා දක්වා එම නඩු සම්බන්ධයෙන්ද අදාළ හිමිනමව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරිණි.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුහදරත්න මහතා පොලිස්
කොස්තාපල් නිරෝෂන් (82062) මහතා  සහ කොටුව පොලිසියේ නිලධාරීහු පැමිණිලි මෙහෙය  වූහ.

අමිල අබේරත්න