නිවෙස් සිටියදී සිය දියණිය අබිරහස් ලෙස අතුරුදන්වීම පිළිබඳ මිනුවන්ගොඩ පොලීසියට පැමිණිල්ලක් කර දින 8ක් ගත වී ඇති නමුත් කිසිදු පොලිස් නිලධාරියෙක් සිද්ධිය සම්බන්ධයෙන්  පරික්ෂණ කිරීමට නිවසට නොපැමිණීම නිසා අසරණ වූ මවක තම දියණිය සොයාගැනීමේ අරමුණින් දියණියගේ රුව සහිත
ඡායාරූපයක් රැගෙන පාරක් පාරක් ගාණේ ඇවිදින දුක්බර කතා පුවතක් සීදුව කොටුගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ අතුරුදන්ව ඇත්තේ නො. 12/1  උඩුගම්පොළ පාර, කොටුගොඩ, සීදුව ලිපිනය පදිංචිව සිටි මදුශානි ගුණවර්ධන (17) නමැති පාසල් ශිෂ්‍යාවකි.


සැමියාගේ වෙන්වීමෙන් පසු තම දරුදෙදෙනා රැකබලාගනිමින් කුලී නිවෙසක ජීවත් වන මදුශානිගේ මව ඇගලුම් වෘත්තියෙන් ජීවිකාව ගෙන යයි. ඉකුත් 2 වැනිදා තමන් රැකියාව සඳහා යද්දී දියණිය නිවෙසේ සිටි බවත් රැකියාව නිමවී නැවත නිවසට පැමිණ බලද්දී දියණිය නිවෙසින් අතුරුදන්ව සිටි බැවින් එදිනම රාත්‍රියේ සිද්ධිය සම්බන්ධව මිනුවන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කළ බවත් ඇය පවසන්නීය.

දියණිය අතුරුදන්වී දින 9ක් ගතවී ඇතත් දියණිය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය නොවීම නිසා දියණියට කිසියම් අනතුරක් සිදුව ඇත්දැයි කම්පාවට පත් මව නදීකා දිල්රුක්ෂි හඬා වැලපෙමින් අප සමඟ මෙසේ පැවැසුවාය.

 "මම එදා උදේ 7.45 විතර වැඩට ගියා. ඒ වෙද්දි දුව ගෙදර හිටියෙ. මම යන්න විනාඩි 15 විතර කලින් තමා පුතා ගෙදරින් පිටත් වුණේ. පුතාට බත් එක බැඳලා දුන්නෙත් දුව. මම වැඩට ගිහින් සවස 3.00 විතර දුවට කෝල් කෙරුවත් ෆෝන් එක වැඩ කළේ නෑ. ඊට පස්සෙ හවස 6.00ට විතර ආයෙ කෝල් කළා. ඒත් ෆෝන් එක වැඩ නැති නිසා මම පුතාගේ ෆෝන් එකට කෝල් ගත්තා. එතකොට පුතා කිව්ව මම හවස 5.30ට විතර ගෙදර ආවෙ. ඒ එද්දිත් නංගී ගෙදර හිටියෙ
නෑ කියලා. මම පුතාට කිව්ව අවට හොයල බලන්න කියලා. ටිකකින් පුතා මට කිව්ව නංගී කොහෙවත් නෑ කියලා. ඒ වෙලාවේ මගෙ ඇග වෙව්ළන්න ගත්තා. මම ඉක්මනට ගෙදර ඇවිත් පුතා එක්ක හැම තැනම දුවව හෙව්වා.

ඒත් හම්බ වුණේ නැති නිසා මිනුවන්ගොඩ පොලිසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. ඊට පස්සේ දවසක් දෙකක් විතර පොලිසියේ මිස් කෙනෙක් කෝල් කරලා මගෙන් ඇහුවා දුව ගැන තොරතුරක් ලැබුණද කියලා. මම කිව්වා ඒ මිස්ට කිසිම තොරතුරක් ලැබුණේ නෑ කියලා. පස්සේ කරන්න දෙයක් නැතිව මම කෙරුවේ පන්සල් ගිය එකයි බෝධි පූජා තිබ්බ එකයි.

පොලීසියෙන් තාම (20දා වන විටත්) ගෙදරට ඇවිත් බැලුවේ නෑ මගේ දුව නැතිවීම සමිබන්ධව. අනේ මගේ ළමයට මේ වෙද්දි කරදරයක් වෙලාද කියලා අපි දන්නෙ නෑනේ. ළමයව කොහෙන් හරි හොයලා දෙන්න”යැයි කියමින් ඇය ඉකි ගසමින් හැඬුවාය.

වේයන්ගොඩ - ඉන්දික තුෂාර