පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ පොළොවේ දැඩි ලිස්සන සුළු තත්ත්වයක්  හදිසියේ ඇතිවීමෙන් මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සේවක  සේවිකාවන් ඇතුළු 17 දෙනකු මේ වනවිට ඇද වැටී
ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ. ඇද වැටුණු කිහිප දෙනකු තුවාල ලබා පාර්ලිමේන්තු වේද මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර පවා ගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

බිම් මහලේ අධික ලියනසුළු තත්ත්වයක් මෙලෙස ඇතිවී තබෙන්නේ "පොලිෂ්” වෙනුවට වෙනත් රසායනික
ද්‍රව්‍යයක් වැරදිමකින් ගැල්වීම නිසා යැයි පාර්ලිමේන්තු සේවකයෝ පවසති. මේ පිළිබඳව අප  පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි  නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාගෙන්  කළ විමසුමක දී ඔහු පැවැසුවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ බිම් මහලේ පොළොවේ අධික ලිස්සන සුළු තත්ත්වයක් ඇතිවීම නිසා ඊට බලපෑ රසායන ද්‍රව්‍යය  සේවකයින් පිරිසක් යොදවා ඉවත් කිරීමට පියවර ගත් බවයි.


සේවකයින් පෙරේදා (20) මධ්‍යම රාත්‍රිය වනතුරු ඒ ඉවත් කිරීම් කටයුතුවල යෙදුණ බව වේත්‍රධාරිවරයා කීවේය.  කෙසේ වෙතත් එම ලිස්සනසුළු තත්වය පාර්ලිමේන්තු නිලධාරීන් උපදෙස් දී තිබිණ. බිම් මහලේ අධික ලිස්සනසුළු තත්ත්වය නිසා දැඩි කරදරයට පත්වුණේ අඩි උස පාවහන්
පැළඳ සිටි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කාත්තාවන්ය.

ඇතැම් කාන්තාවන් සපත්තු,සෙරප්පු අතින් ගෙන බිම් මහලේ එහා මෙහා  යනු දක්නට ලැබිණ.  ලිස්සනසුළු තත්ත්වය නිසා බිම් මහලේ  පරිස්සමින් ගමන් කරන්නැයි අගමැතිවරයා, විපක්‍ෂ නායකයා හා කතානායකවරයා ඇතුළු නායකයන්ට දැනුවත් කර ඇත.  බිම් මහලේ පරිස්සමින් ගමන් කරන්නැයි සඳහන් දැන්වීම් පුවරු ද එහි තැන තැන ප්‍රදර්ශනය කර තිබෙනු දක්නට ලැබිණ.

-ඩයනා උදයංගනී-