මිග් යානා ගනුදෙනුවට අදාළව හිටපු ගුවන් හමුදාපතිවරුන් දෙදෙනකු වන රොෂාන් ගුණතිලක සහ ඩොනල්ඩ්
පෙරේරා යන මහත්වරුන් ඇතුළු එයාර් වයිස් මාර්ෂල් තනතුරේ හමුදා නිලධාරීන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ
සටහන් කරගෙන ඇති බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (27දා) කොළඹ කොටුව අධිකරණයට
දැනුම් දුන්නේය.

මිග් යානා ගනුදෙනුවට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එලෙස
දැනුම් දුන්නේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ නඩුව කැඳවනු ලැබූ
අවස්ථාවේදීය.

ඔවුන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව මිග් යානා ගනුදෙනුව ගුවන් හමුදාව සහ යුක්රේන් මාෂ් සමාගම සමඟ
සිදුවී ඇති බවද එයට තුන්වැනි පාර්ශ්වයක් ලෙස සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර ඇති ඩී.එස්. එලායන්ස්
නමැති සිංගප්පූරුවේ පිහිටි සමාගම සහ ටී.එස්.ලී යන සිංගප්පූරු ජාතිකයා සම්බන්ධ වී නොමැති බවට ඔවුන්
ප්‍රකාශ කළ බවද මිග් යානා ගිවිසුම කෙටුම්පත් කර ඇති විශ්‍රාමික එයාර් වයිස් මාෂල්වරයකු වන ලලිත්
සමරවික්‍රම නමැති අයකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්
දුන්නේය. ඔහු ප්‍රකාශ කරනු ලැබුවේද අදාළ ගනුදෙනුව අස්සන් කරනු ලැබුවේ
ගුවන් හමුදාව සහ
යුක්රේන් මාෂ් නමැති සමාගම අතර වන බවද එයට තුන්වැනි පාර්ශ්වයක් ලෙස ඩී.එස්. එලායන්ස් යන
සමාගම සහ ටී.එස්. ලී යන තැනැත්තා සම්බන්ධ වූ බවට දැනීමක් නොමැති බවට ප්‍රකාශ කර ඇති බවද
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ මූල්‍ය අපරාධ විමර්ශන
කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මිග් යානා ගනුදෙනුවේ මුල් යෝජනාව සිද්ධියට අදාළව සැකකරුවකු ලෙස නම් කර ඇති හිටපු රුසියානු
තානාපතිවරයා වන උදයංග වීරතුංග මහතා විසින් ගෙන ආ බව අදාළ ගුවන් හමුදා නිලධාරියා ප්‍රකාශ
කළ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටිනු ලැබිණි.

ගනුදෙනුව සම්බන්ධයෙන් පත් කළ ටෙන්ඩර් මණ්ඩලයේ සිටි සභාපතිවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බවද ඔහු
ප්‍රකාශ කරනු ලැබුවේද අදාළ ගනුදෙනුවට තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ වී නොමැති බවට වන බවද
පොලිස් නිලධාරියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

මිග් යානා ගනුදෙනුව සිදුවූ කාල වකවානුව තුළ හිටපු රුසියානු තානාපතිවරයාගේ මස්සිනා වන ලෙලුම්
ඉන්දික මනම්පෙරුම යන අයගේ බැංකු ගිණුමකට මිග් යානා ගනුදෙනුවට විදේශ පාර්ශ්වයන් ලෙස නීතිමය
නොවන අයුරින් සම්බන්ධ වී ඇති ඩී.එස්. එලායන්ස් නමැති සමාගමෙන් සහ ටී.එස්. ලී යන සිංගප්පූරු
ජාතිකයාගේ ගිණුමකින් මුදල් ප්‍රේෂණය වී ඇති බවද ඒ පිළිබඳව විමර්ශනයන් සිදුකරමින් පවතින බවද
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ප්‍රකාශ කරනු ලැබිණි.

මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ වී ඇති පෙරගඩෙව් යන අයට ජාත්‍යන්තර පොලිසිය මඟින් 2019.07.10
දින සිට 2024.07.10 දක්වා
බල පැවැත්වෙන පරිදි රතු නිවේදනයන් නිකුත් කර ඇති බවද උදර්පන නීතිය
යටතේ ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර පොලිසියෙන් සිදු කළ ඉල්ලීමක් පරිදි අදාළ රතු නිවේදනය
නිකුත් කර ඇති බවද ගනුදෙනුවට සම්බන්ධ වී ඇති ටී.එස්. ලී, එන්.ජී. ලෝකිම් යන දෙදෙනාටද ඔවුන්ට
එරෙහිව මේ වන විට නිකුත් කර ඇති නිල් නිවේදන, රතු නිවේදන බවට පරිවර්තනය කර රතු නිවේදන ලෙස
නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා
අධිකරණයට දන්වා සිටියේය.

2006 වසරේදී ඉකුත් රජය සමයේ සිදුවී ඇතැයි කියන මිග් යානා ගනුදෙනුව හරහා රජයට ඩොලර් මිලියන
7ක පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියට අදාළව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග, ඉහත
සඳහන් විදේශිකයන් පිරිස, ගුවන් හමුදා නිලධාරීන් කිහිපදෙනකු ඇතුළු සැකකරුවන් 6 දෙනකු සහ සමාගම්
දෙකක් සැකකරුවන් ලෙස නම් කර ඇත.

සිද්ධියට අදාළව පැමිණිල්ල මෙහෙයවන රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විදේශගත වීම මත අද
දින අධිකරණයේ පෙනී නොසිටි අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම පරිදි සිද්ධියට අදාළව
වැඩිදුර විමර්ශන පවත්වා වැඩිදුර වාර්තා කිරීමට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් දින
ඉල්ලා සිටි අතර ඒ අනුව කොටුව මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා දින ලබාදෙමින් සිද්ධියට අදාළව නඩුව
නොවැම්බර් 14 වැනිදා කැඳවන ලෙසට නියෝග කළේය.

ඒ අනුව නඩුව නොවැම්බර් 14 වැනිදා කැඳවීමට නියමිතය.

අමිල අබේරත්න