මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයට ද හේතු වූ බලවේගවලින් ගොඨාභය රාජපක්ෂ මහතාව බේරාගැනීමේ වගකීම ජනතාව සතු බව මැදගොඩ අභයතිස්ස හිමි අවධාරණය කරයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය ලැබුණත් ඉදිරියේදී ඔහුට එක්ව කටයුතු කිරීමට සිදුවන පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්න ඇති බව එහිමි සඳහන් කළහ.

“මේ වෙනකොට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා හැටියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම්
කරලා තියෙනවා. හොඳයි. හැබැයි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා නම් කරලා තිබුණත් අද, සමාජයේ කතාවක් යනවා ඔහු මේ පත් කළා වගේම ඉදිරියේදී ඔහුට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ කා සමඟද ?

පහුගිය කාල වකවානුවේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්නත් හේතුවුණාය කියන බලවේගත් එක්කමද ඔහු ඉදිරියට කටයුතු කරන්නේ කියන සාකච්ඡාව සමාජයේ තැන් තැන්වල තියෙනවා. අන්න එතනින් ගෝඨාභය රාජපක්ෂ මහතාව ගළවා ගැනීමේ වගකීමත් ජනතාවට තියෙනවා” යනුවෙන් එහිමි ප්‍රකාශ කළේය.

මැදගොඩ අභයතිස්ස හිමි මේ බව පැවසුවේ ඊයේ (15) කොළඹදී පැවති වැඩසටහනක් අමතමිනි. එහිමි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය වෙනුවෙන් දියත් කෙරුණු “එළිය” වැඩසටහනේ ද ප්‍රධාන කථිකයෙකු විය.