කොළඹ මාදම්පිටිය සුසාන භූමියේ ඊයේ (15) පස්වරුවේ පැවැති අවමගුල් උත්සවයකට මුහුණු ආවරණය කරගෙන කඩාවැදුණු පිරිසක් මන්නා පිහිවලින් කපා කොටා එහි සිටි කිහිපදෙනකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදුකර ඇතැයි පොලිසිය කියයි. අවමංගල උත්සවයේ කටයුතු සිදුකෙරෙන අතරවාරයේදී එම මැර පිරිස ත්‍රිරෝද රථයකින් එතැනට කඩාවැදී මන්නා පිහි පහරවල් එල්ල කර තිබේ.

එලෙස කපාකොටා ඝාතනය කර ඇත්තේ   සජිත් ඉරෝමන් හෙවත් ආනමාලු රංග හා මොහොමඩ් ඊබ්‍රහිම් නමැති දෙදෙනාය. මෙම පිරිස ඊයේ පස්වරු 4.00ට පමණ අවමගුල් උත්සවයට  මාදම්පිටිය සුසාන භූමිය වෙත පැමිණ සිටියදී මෙම පහරදීම් සිදුවී ඇත.  බරපතළ කැපුම් තුවාල ලැබූ
මෙම දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග කියයි. සිද්ධියෙන් තුවාල ලැබූ  තවත් පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්  පසුවේ.

ඝාතනයට ලක් වූ ආනමාලු රංග නමැත්තා මීට වසර කිහිපයකට පෙර ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි නායකයකු වන රොෂාන් නැමැත්තා ඇතුළු පිරිස් අතින් ඝාතනයට ලක්වූ චූටි උක්කුං නැමැත්තාගේ මස්සිනා බව පොලිසිය කියයි. ඝාතනය සඳහා පැමිණි පුද්ගලයන් අත තියුණු ආයුධ තිබි ඇති අතර එයින් කිහිපදෙනෙකු රෙදි වලින් මුහුණු වැසෙනසේ ආවරණය කරගෙන සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

 ඝාතනයට ලක්වූ චූටි උක්කු හා ප්‍රතිවිරුද්ධ කල්ලි නායක රොෂාන් අතර කලක සිට ගැටුම් පවතින අතර රොෂාන් ඇතුළු කල්ලිය මීට මාස කිහිපයකට පෙර නිදහස් වී පැමිණ ඇතැයි පොලිසිය කියයි. ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පරික්ෂණ පවත්වයි.

-ඉන්දිකා රාමනායක-