උදරයේ සැත්කමක් සඳහා පැමිණි වයෝවෘද කාන්තාවකගේ අතක් කපා ඉවත් කිරීමේ පුවතක් මාරවිල මූලික රෝහලෙන් වාර්තා වේ. මාදම්පේ පදිංචි පැට්‍රිෂියා ලිලාවතී (78) මහත්මියගේ ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් සඳහා මාරවිල රෝහලට පසුගිය මස 20 වැනි දින පැමිණ ඇති අතර එහිදී සැත්කම  සිදුකළ
වෛද්‍යවරයා විසින් අදාළ කාන්තාවගේ වම්  අත ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

එතැන් පටන්  මෙම කාන්තාව දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. මේ වන විට මෙම කාන්තාව දැඩි සත්කාර ඒකකයේ සිට  තෙවරක් හලාවත සහ කුරුණෑගල රෝහල් වෙත සි.ටී. ස්කෑන් පරික්ෂණයක් සහ රුධිර මාරු කර ගැනීම සදහා ගෙන ගොස් තිබේ. එසේම පෙරේදා (4) පපුවේ වේදනාවකින් පැමිණි තවත් කාන්තාවකගේ උදරය පළා සැත්කමක් කිරීමට උත්සාහ කර ඇති අතර අදාළ කාන්තාවගේ සහෝදරයා පැමිණ ඒ අවස්ථාවේ උදරයේ සැත්කමක් සිදුකරන්නේ ඇයි දැයි විමසා ඇත.

මෙහිදී අදාළ ආධුනික වෛද්‍යවරයා පවසා ඇත්තේ තමා සැත්කම කිරීමට අදාළ හේතුව නොදන්නා අතර මේ සඳහා උපදෙස් ලබා දුන්නේ අදාළ විශේෂඥ වෛද්‍යවරයා බවයි.  මෙම සිදු වීමට ලක්වී ඇත්තේ පී. ආර්. ශාන්ති නැමැති දෙදරු මවකි. ඇගේ සහෝදරයා වෛද්‍යවරයෙකු වීම හේතුවෙන් සැත්කම කිරිම සදහා අනුමැතිය ලබා නොදීම මත සිදුවීමට ගිය හානිය වැළකුණු බව ඇය පැවසුවාය.

මේ සදහා උපදෙස් ලබාදුන් වෛද්‍යවරයා පෙරේදා දින මාරවිල මූලික රෝහලේ සේවය කළ යුතු වුවත් ඔහු රාජකාරියට වාර්තා නොකිරීම සහ නිවාඩු වාර්තා කර නොතිබීම හේතුවෙන් මේ තත්වය සිදුව
ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.
මෙම සිදුවීමට ලක්වූ කාන්තාව වෙනත් රෝහලකින් පරික්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ ඇයට කල්ගතවූ රක්තපාතික අග්න්‍යාස ප්‍රදාහය නැමැති රෝගී තත්ත්වය ඇති බවයි.

මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය කාලය තුළ මාරවිල මූලික රෝහලෙන් වාර්තා වී ඇති අතර මේ සම්බන්ධයෙන් මාරවිල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය නිමලා ලෝගනාදන් මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ මෙම දෙවැනි සිදුවීම සම්බන්ධයෙන් ඇයට වාර්තා වූ අතර පළමු සිදුවීම ගැන වාර්තා වී නොමැති බවයි. ඒ සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් සිදු කරන බවත් දින දෙකකින් වැඩිදුර තොරතුරු ලබා දෙන බව ඇය පැවසුවාය.

-ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න-