තමා ඊයේ පෙනී සිටි උසස් පෙළ විභාගය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.
ඔහු කියා සිටියේ තමා ඊයේ ලියුවේ ක්‍රිස්තු ධර්මය 1 ප්‍රශ්න පත්‍රයට බවයි. එයට බහුවරණ ප්‍රශ්න තිබූ බවත්
උත්තර 5 න් හරි එක තෝරන්නට තිබූ බවත් කීවේය.

ප්‍රශ්න 50 න් 25 ක් පමණ තමා හරියට ලියූවත් ඉතිරි 25 ගැන සැක පවතින බව කීවේය. තමාට එස් එකක් තිබුණත් ඇති යයි ඔහු ඒ සමගම දන්වා සිටියේය.
ක්‍රිස්තු ධර්මය විෂය සඳහා ඔහු සූදානම් වූයේ පුද්ගලික ටියුෂන් ගුරුවරියක නිවසට ගෙන්වාගෙනයි.

තමාට විභාග ශාලාවේ පරීක්ෂකවරුන්ගෙන්  අවශ්‍ය සහයෝගය ලැබුණ බවත් තමා වැනි වයසින් වැඩි කෙනෙකු විභාගයට පෙනී සිටීමට පැමිණීම ඔවුන් අගය කළ බවත් රන්ජන් දන්වා සිටියේය. තමාට ඒසී කාමර මෙම විභාගයේ නොමැතිවූ බවත් පුද්ගලික අයදුම්කරුවන් සිටි කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලීය ශාලාවේ අංකයට හිමි ස්ථානයේ වාඩිවී විභාග පිළිතුරු ලියූ බවත් ඔහු කියා සිටියේය.
දැන් වයස 56 ක් වන රන්ජන් රාමනායක මීට වසර 38 කට පෙර සිය මුල්ම උසස් පෙළ විභාගයට පෙනී සිටි බවත් එහිදී විෂයන් 4 න් 3 ක් අසමත්වූ බවත් දන්වා තිබෙන අතර සමත්වූ එකම විෂයය සිංහල වූ බවත් එයට එස් එකක් තිබූ බවත් දන්වා ඇත.