මල්වානේ උලහිටිවල , කන්දගොඩවත්ත ප්‍රදේශයේ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරිකයකුගේ සුවිසල් නිවෙසට පෙරේදා  (19දා)  රාත්‍රියේ කඩා වැදුණු කඩු අමෝරා ගත් මුහුණු ආවරණය කළ කොල්ලකරුවන් හය දෙනකු නිවස කොල්ලකා පලා ගොස් තිබේ.

මේ අවස්ථාවේ කොල්ලකරුවන් නිවෙසේ තිබූ රුපියල් එක් ලක්‍ෂ පනස් දහසක මුදලක් හා රන් ආභරණ බව සිතා ඉමිටේෂන් ආභරණ වගයක් ද මෙසේ කොල්ලුකා පලාගොස් තිබේ.

මේ සම්බන්ධව දොම්පේ පොලිසියට නිවෙස් හිමි  ව්‍යාපාරිකයා  පැමිණිලි කර තිබිණි. එම කොල්ලකරුවන් පලා යාමේදී විසිකර දමා ගොස් තිබී ඔවුන් ගෙන ආ කඩු තුනක් , මන්නා පිහියක්, මුහුණු ආවරණය කළ හිස්වැසුම් (හෙල්මට්) දෙකක් හා ජැකට් එකක් දා සොයා ගැනිණි.

තවද එම සිද්ධිය වී විනාඩි දහයක් තුළ එම ස්ථානයට

පැමිණි දොම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතා විසින් ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පුළුල් විමර්ශනයක් ද ආරම්භ කෙරිණි.

පෙරේදා  රාත්‍රී 10.00ට පමණ එම කොල්ලකරුවන් නිවස පිහිටි ඉඩම වටා ඉදිකර තිබෙන තාප්පයන් ඇතුළට පැන ප්‍රධාන දොරටුව අසල තිබුන මුර කුටියේ සිටි මුරකරුගේ අත් බැඳ දමා ඔහු කැටිව නිවසේ කුස්සිය පැත්තේ කාමරයක සිටි මෙහෙකාරියන්ට කතා කොට දාර විවෘත කර ගෙන නිවසට ඇතුළු වී ඇත.

පසුව නිවසේ සිටි ව්‍යාපාරික ගෙහිමියා ඇතුළු පවුලේ උදවිය බිය ගන්වා කාමරයකට දමා එම කොල්ලය කරන විට උඩු මහාලේ කාමරයක සිටි ව්‍යාපාරිකයාගේ පුතෙකුගේ කෑකෝ ගැසීම මධ්‍යයේ කොල්ලකරුවන් තම සැලසුම් බොඳ වී පලා ගොස් තිබේ.‍

සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අත්අඩංගුණ ගැනීම සඳහා මෙහෙයුමක් දියත් කර ඇත.

දොම්පේ පොලීස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආලෝක බණ්ඩාර සේනානායක හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ටී.එල්. බාලසුරිය යන නිලධාරිහුපරික්ෂණ මෙහෙයවති.

බියගම- කේ. දුමින්ද