විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතිමය  ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා  ප්‍රකාශ කළේය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකුව සිටියදී වෙනත් පක්ෂයක නායකත්වය ගැනිමෙහි කිසිදු වරදක් නැතැයි පෙන්වා දුන් සභාපතිවරයා ඒ පිළිබඳ නෛතික ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බවද කීය. කෙසේ වුවද එවැනි තත්වයක් ඇති නොවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශ්වාසය තබා ඇතැයි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී ඊයේ (05දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.ඒ අනුව
මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ  වැඩිදුරටත් සිය අදහස් දැක්වූ ඒ මහතා,

"අපේ ජාතික සම්මේලනය අගෝස්තු එකොළොස් වැනිදා හවස සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට අපි සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. එදාට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා වශයෙන් නම් කිරීමට නියමිතයි. එතුමා මුල ඉදලම පක්ෂයේ නායකත්වය ගෙන කටයුතු කළත් අගෝස්තු 11 වැනිදා එය නිල වශයෙන් ප්‍රකාශයට කිරීමක් සිදු වෙනවා.

නිල වශයෙන් එම නායකත්වය භාරගෑනීමන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා විසින් අපේ ඉදිරී  ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමට සුදානම් වෙලා ඉන්නවා.  එම අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනටමත් සමස්ත ලංකාවේම ජනතාවක් දැඩි ඉල්ලුමක් තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ජනාධිපති අපේක්ෂකයා කලින් නම් කරන්න මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කැමති වුණේ නැහැ. නමුත් එය නම් කිරීමට හැකි හොඳම අවස්ථාව මෙය බව එතුමා තීරණය කොට තිබෙනවා.

අපි ජනාධිපති අපේක්ෂකයා තෝරගෙන තිබෙන්නේ රටේ අවශ්‍යතාව සහ ප්‍රමුඛත්වය මූලික කොටගෙනයි. ඉන් පළමුවැන්න වන්නේ විනයයි.
රටේ විනය හදන්න පුළුවන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවා. දෙවැනි කාරණාව වන්නේ ජනතාවගේ ආරක්ෂාව නොමසුරුව ලබාදෙන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍යයි කියන එකයි. ඒ හා සමගාමීව කාර්යක්ෂම ආණ්ඩුවක් අපේ රටට දැන් අත්‍යවශ්‍යයි.

අද රට පත්වෙලා තිබෙන අරාජිකත්වය නැති කරලා රටේ ජනතාවට නැගී සිටීමට ශක්තිය හා අධිෂ්ඨානය ලබාදෙන නායකයෙක් අපි ඉදිරිපත් කරනවා. ඒ වගේම නායකත්වය සම්බන්ධයෙන්  ජනතාවට විශ්වාසය පළ කරන්න පුළුවන් නායකයන්ම ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. රටේ අනන්‍යතාව හා ආත්මගරුත්වයට එරෙහිව රජය ගෙන යන වැඩපිළිවෙළ මැඬපවත්වා රට ඉදිරියට ගෙනයන අපේක්ෂකයෙකු මේ වෙලාවේ අවශ්‍යයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයාට රට පුරාම කිසිම භේදයකින් තොරව විශාල ජන සහයෝගයක් ලැබෙමින් පවතිනවා. එහිදී ජාතිකත්වය පිළිබඳ සීමා නැහැ. සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අද පුන පුනා බලා සිටින්නේ එඩිතර ශක්තිමත් නායකයෙකු තමන්ට රැකවරණය ලබාදෙන තුරුයි" යැයිද පවසා සිටියේය.