ජයවර්ධනපුර රෝහලේ ගබඩාවක ගබඩා කර තිබූ රෝගීන් භාවිත කරන නිදන ඇඳන්වලින් ඉවත් කරන ලද රෝදඅනූඑකක් (91) සොරාගෙන යකඩ බඩු කඩයකට විකුණූ­ බව කියන රෝහල් සේවකයකු මිරිහාන පොලිසිය මඟින්
අත්අඩංගුවට ගෙන ඇත.
එම ගබඩාවේ තිබූ ඇඳන් රෝද 91ක් කිසියම් අයකු විසින් සොරාගෙන ගොස් ඇති බවට එම ගබඩාව භාර
නිලධාරියා මිරිහාන පොලිසියට ඉකුත් 16 දින කර තිබූ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකින් පසු එකී
සැකකරු එසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ සොරා ගන්නා ලද රෝද පන්නිපිටිය ප්‍රදේශයේ යකඩ බඩු කඩයකට විකුණූ­­ බවට සැකකරු කළ
ප්‍රකාශයකින් පසු එම රෝද පොලිසිය භාරයට ගත් බවද පොලිසිය පවසයි.

මිරිහාන පොලිසියේ සැරයන් කුලරත්න (28762) මහතා විසින් එකී සැකකාර පුද්ගලයා ඊයේ (25දා)
අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදාහරින ලෙසද
නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොල මහතා නියෝග කළේය.

මිරිහාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජයවර්ධන, අපරාධ අංශ ස්ථානාධිපති උප
පොලිස් පරීක්ෂක වීරතුංග යන මහත්වරුන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන අතර මීට අදාළව තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බවද අනාවරණය කෙරිණි.
කුමුදු උපුල් ශාන්ත