කොළඹ _ මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, අඹන්පිටිය විහාරස්ථානය ඉදිරිපිටදී පෙරේදා (25දා)
රාත්‍රි ධාවනය වෙමින් තිබූ ලොරි රථයක කාර් රථයක් ගැටී විදුහල්පතිවරයෙක් මියගොස් ඇතැයි කෑගල්ල
පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල, ගලිගමුව, ඇටිකීරියගොල්ල පදිංචිව සිටි දැදිගම මහපල්ලේගම
සේනානායක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස සේවය කරමින් සිටි මඩවලගේ ඉන්දික ප්‍රියංකර
මඩවල නමැති දෙදරු පියෙකි.

මියගොස් ඇති විදුහල්පතිවරයාට වයස අවුරුදු 15ක

හා 12ක පිරිමි දරුවන් දෙදෙනෙක් සිටිති. බිරිය
රැකියාවක් නොකරන අතර 2016 වර්ෂයේ කෑගල්ල උඩම්බා සියඹලාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සේවය
කොට පසුව දැදිගම සේනානායක මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස මාරුවක් ලබාගෙන ගොස් තිබිණි.

විදුහල්පතිවරයා පහ වසර ශිෂ්‍යත්ව අමතර පන්ති කරන ගුරුවරයෙකි. කෑගල්ල, වරකාපොළ, රඹුක්කන
ප්‍රදේශවල අමතර පන්ති පවත්වාගෙන යන අතර පෙරේදා (25දා) රඹුක්කන පන්තිය අවසන් කර රාත්‍රි
8.30ට පමණ ගලිගමුවේ නිවෙස කරා සිය කාර් රථයෙන් ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

කොළඹ _ මහනුවර ප්‍රධාන මාර්ගයේ ධාවන වෙමින් තිබූ කාර් රථය අඹන්පිටිය ප්‍රදේශයේදී කැරකී
ගොස් වම් පස ලොරි රථයක ගැටී ඇති බව
පොලිසිය කියයි. ලොරිය රත්මලානේ සිට මහනුවර මතුරට දක්වා ධාවනය වෙමින් තිබූ එකකි.අනතුරින් විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබුණු අතර ලොරි රථයේ රියැදුරුවරයාද නියමිත
මං තීරුවේ ගමන් කරමින් ඇති බවද පොලිසිය කියයි. අනතුරින් ලොරි රථයේ රියැදුරු වන මහනුවර මතුරට
පදිංචි එස්.ටී. ප්‍රියන්ත සමන් කුමාර නමැති 55 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු
ඊයේ (26දා) කෑගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

දමුණුපොළ - චමින්ද ජයලත්