ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට වැටුප් වශයෙන් ගෙවන ඇමරිකානු ඩොලර් 40,000න් යම් අයෙක් 5,000ක් 10,000ක් ගන්නවා නම් ඊට වගකිව යුත්තේ කවුදැයි යැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා එහිදී විමසා සිටියේය.

අමාත්‍යවරයා මේ චෝදනාව එල්ල කළේ ඊයේ (08දා) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා, "මට චන්දික හතුරුසිංහ සමග කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේක දැන් මේ වගේ ප්‍රශ්නයක් විදිහට හුවා දක්වන්න හදනවා. ඇත්ත කතා කළත් වැරැදියි. නොකර හිටියාමත් වැරැදියි. කතා කරන්න ගියාම කියනවා ඇයි හතුරුසිංහව එළවන්න හදන්නේ කියලා. මට අහන්න තියන ප්‍රශ්නේ පෝල් ෆාබේස් සහ ග්‍රැහැම් ෆෝඩ් කියන පුහුණුකරුවන් එක රැයකින් ගෙදර යවන්න පුළුවන් වුණා නම්, කවුද ඒ ගිවිසුම ගැහුවේ. එතකොට මෙවැනි තද හිර කරපු ගිවිසුමක් ගහපු කෙනා කවුද? ක්‍රිකට් ආයතනයේ හරී අවසරයකින්ද මේක ගැහුවේ. මම කොතනකවත් කියලා නැහැ හතුරුසිංහව අස් කරන්න කියලා.

මං කිව්වේ නැවත ගිවිසුමක් නිසියාකාරයෙන් අත්සන් කරන්න කියලයි. එතකොට
ක්‍රිකට් ආයතනයේ නිලධාරින් කිව්වා නවසීලන්ත සංචාරය මෙහෙම යන්න දෙමු. පැය 24ක් ඇතුළත එතුමාව මුණගැහෙනෙවා. අනතුරුව ඔහුගේ සැලැසුම ලබා දෙන්නම් කියලා. ඒත් පැය24ක් ගිහිනුත් ඒක ලැබුණේ නැහැ, පසුව තැන් තැන්වල ගිහින් කියලා තියෙනවා ඇමැති කොහොමද අයින් කරන්නේ කියලා.
හැබැයි ක්‍රීඩා පනතේ 39 (1) යටතේ ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් මට හැකියාවක් තියෙනවා ඕනම ජාතික ක්‍රීඩා සංගණයකින් විමසා සිටින්න මම ඒ විමසීම කළා. ඒ අනුව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු කණ්ඩායම් මගේ තීරණය හරී කියලා පිළිගත්තා.

මට පෙනී යනවා එක පුද්ගලයන්ට පමණක් මේක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියනවා කියලා. ඉතින් මම දන්නේ නැහැ, ඒ ඒකෙනා නම් මේ ගිවිසුම ගැහුවේ ඒ කෙනා විසින්ම ඒක ලිහාගත යුතුයි. ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයින්ට කියනවා නම් තරග දිනපු විදිහට ගෙවීම් කරන්නේ කියලා
ඒ විදියටම පුහුණුකරුටත් කළ යුතුයි කියන මතයේ මම ඉන්නවා.

පුහුණුකරුට අමතර දීමනා නැතුව ඩොලර් 40,000ක් ගෙවනවා නම්, මේ 40,000න් කවුරුහරි 5,000ක් 10,000ක් ගන්නවා නම් එතකොට කවුද වගකියන්නේ. එහෙම වෙන්නත් බෑනේ. චන්දික හතුරුසිංහ කැමැත්තෙන් ඉවත් වෙලා යනවා නම් අපි ඔහුට මාස 03ක පඩි ගෙවන්න ඕන. එහම නැතුව එයාව අපි ඉවත් කරනවා නම් අවුරුද්දක පඩි ගෙවන්න ඕන. පුදුම ගිවිසුම් ගැහිල්ලක්නේ මේක.

මේ ගිවිසුමට අවසර දුන්නේ කවුද? දැන් මේකට වැඩියෙන්ම අඬන්නේ කවුද? එතකොට තේරෙනවා මේ ගිවිසුම ගැහුවේ කවුද කියලා, ඒ උත්තර දෙන මිනිහාගෙන් මම අහන්න කැමතියි එයාට මොකක්ද තියෙන අයිතිය මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න. ක්‍රිකට් ආයතනයේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඉන්නවා, ඔවුන් උත්තර  දෙන්න ඕන. මේකටඋත්තර දෙන්නේ අදාළත්වයක් නැති වෙන පාර්ශව යැයි පවසා සිටියේය.

 -පැතුම් ශ්‍රී විජේරත්නන-