සංචාරක හෝටලයක පරිපාලන කළමනාකරුවකු හෝටලය හිමිකරුගේ බිරියගේ පහර කෑමට ලක්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයයි. තල්පේ ප්‍රදේශයේ පිහිටි මෙම සංචාරක හෝටලයේ
සේවයකයින් සඳහා උපදෙස් පන්තියක් පවත්වමින් සිටියදී මෙම පහරදීම සිදු වූ බවට කළමනාකාරවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින පහරදුන් බව කියන කාන්තාව සහ තවත් පුද්ගලයකු සමඟ එක් වරම හෝටලයට ඇතුළුවී පිළිගැනීමේ කවුන්ටරය ඉදිරිපිටදී කකුලේ තිබූ උල් අඩි සහිත සෙරෙප්පුව ගලවා තමාගේ මුහුණට පහරදුන් බවට පරිපාලන කළමනාකරු පොලිසියට කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.  හෝටලයේ අයිතිකරු සහ බිරිඳ අතර පවතින ආරවුල් පිළිබද තමන් කිසිවක් නොදන්නා බවත් තමා කරන්නේ රැකියාවක් බැවින් සිය
පැමිණිල්ල ඉදිරිපත් කරමින් කළමනාකාරවරයා පොලිසියට කියා ඇත.

තමා රැකියාවට පැමිණියේ අයිතිකරුගේ ඉල්ලීම මත බවන් කොළඹ සිටින ඔහුගේ බිරිඳ තවත් පුද්ගලයකු සමග පැමිණ සේවකයින් ඉදිරිපිටදීම "උඹ මොනවද කරන්නනේ බැහැපල්ලා එළියට" යනුවෙන් බැන වැදී තර්ජනය කොට පහර දීමට තැත්කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය කියයි.

මේ අතර හෝටලයේ සින්නක්කර අයිතිය තමාගේ බවත් නමාගේ නීතිඥවරයා සමඟ හෝටලයට පැමිණෙන විට කළමනාකරු සේවකයින් සඳහා උපදෙස් පන්තියක්  පවත්වමින් සිටි බවත් ඒ පිළිබඳව විමසූ විට ඔහු අසල අලංකාරයට තබා තිබූ වළඳක් ගෙන පහරදීමට තැත් කළ බවත් තමාගේ නීතිඥවරයා එය වැළැක් වූ බවත් එහෙත් එය තමාගේ අතේ වැදී ඇඟිල්ලකට තුවාල වූ බවත් සඳහන් කරමින් හෝටලයේ හිමිකරුගේ බිරිඳ පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

-ඩි.ජී.සුගතපාල-