මෙරට ප්‍රධාන දේශපාලන දහරා 3ක් අගෝස්තු මාසය තුළ ජනාධිපතිවරණ සටන ආරම්භ කරන බවට මේ වන විටත් පූර්ව දැනුවත් කිරීම් සිදු කර ඇති හෙයින් මේ මස 5, 11 සහ 18 යන තෙදින මෙරට දේශපාලනය තුළ තීරණාත්මක දින බවට පත්වන ලකුණු පහළ වී තිබේ.

අගෝස්තු 5 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන රැළියේදී 'ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ' නම් පුළුල් සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කොට බිහි වන බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා තහවුරු කළේය. එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපතිවරණය ඇතුළු ඉදිරි මැතිවරණ කටයුතු මෙම සන්ධානය යටතේ සිදු කිරීමට නියමිත නමුත් එම සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙම රැළියේදී ප්‍රකාශයට පත් කිරීමේ සූදානමක් නොමැති බවද එම පක්ෂය සඳහන් කළේය.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගියදා
සුළු පක්ෂ දහයක් සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹියේය. ඒ අනුව එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනත් සන්ධානයක් ලෙස තරග කරන්නේද යන්න මේ වන තෙක් එම පක්ෂය තහවුරු කර නොමැත. නමුත් අගෝස්තු 11 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ සමුළුවේදී එම පෙරමුණේ නායකත්වය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට බාර දීමට නියමිත බවත් එම අවස්ථාවේදීම එම පෙරමුණේ 2019 ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා රැස සමඟ පැවසීය.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණු පාර්ශ්වකරුවකු වන 'ජාතික ජන බලවේගය', සිය ජනාධිපතිවරණ සටන අගෝස්තු මස 18 වැනි දින ගාලුමුවදොර (ගෝල්ෆේස්) පිටියේදී පැවැත්වෙන මහජන රැළියෙන් ආරම්භ කරන බව එම පක්ෂයේ මාධ්‍ය ඒකකය රැසට හෙළි කළේය. ජාතික ජන බලවේගය නම් පුළුල් සමාජ සංවිධානය නියෝජනය කරමින් ඉදිරිපත් වන නව මැතිවරණ පෙරමුණ මෙම රැළියේදී එළි දැක්වීමට නියමිත බවත් එම පෙරමුණේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයාද එහිදී ප්‍රකාශයට පත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ තහවුරු කළේය.

එසේම ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණය ලබන සැප්තැම්බර් 2 වැනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සමුළුවේදී ප්‍රකාශයට පත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

[උපුලි ජයරත්න]