ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වෙනම ස්වේච්ඡා බළඇණියක් ඉදිරි මැතිවරණ කාලයේදී යෙදවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර ඇත.

ආරක්ෂක අංශවලින් විශ්‍රාම ලැබූ හා නිත්‍යනුකූලව ඉවත්වූ  නිලධාරින් ආසනයට පස්දෙනා බැගින් එකතුකරගෙන මෙම බළඇණිය සකස් කරන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ  ආසනවලට පැමිණීමේදී ඔහුගේ නිත්‍ය ආරක්ෂක නිලධාරීන් විවිධ අන්දමින් සහායදීම මෙම බළඇණියට පැවරෙන ප්‍රධාන වගකීම බවත් ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  ඊයේ පැවැසිය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට රජයෙන් ප්‍රමාණවත්  ආරක්ෂාවක් මේ දක්වා ලැබී නැති බවත් මේ තත්වය
යටතේ ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්ෂක
වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයේ ඉහළ නායකයන්ගේ අවධානය යොමුවී තිබෙන බවත් එම  ප්‍රකාශකයා කීය.

මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ගැන පක්ෂයේ සියලුම ආසන සංවිධායකයන් දැනටමත් දැනුවත් කරනු ලැබ ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා සමග යුද හමුදාවේ එකට  සේවය කළ හමුදා නිලධාරීන්ද මෙම ආරක්ෂක වැඩපිළිවෙළට ස්වේච්ඡාවෙන්ම එකතුවීමට කැමැත්ත පළකර ඇතැයි කියති.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතකු වන  යෝෂිත රාජපක්ෂ මහතාද කටයුතු කරන බව ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණු ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රමුඛ ඒකාබද්ධ සන්ධානය ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ගෝඨාභය රාඡපක්ෂ මහතාගේ නාමය ලබන 11 වැනිදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයේදී
නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් එදින සිට දිවයිනේ ප්‍රධාන නගර රැසක පැවැත්වෙන ජනතා පිළිගැනීමවලද ඔහු සහභාගිවීමට නියමිත බවත් මේ අනුව උතුරු මැද පළාතේ පිළිගැනීම් උත්සව  පාරිලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන්ද, මධ්‍යම පළාතේ පිළිගැනීම් ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්දානන්ද අලුත්ගමගේ හ ලොහාන් රත්වත්තේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ද, කතරගම ප‍්‍රදේශයේ පිළිගැනීම් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානයෙන්ද, හම්බන්තොට පිළිගැනීම් චමල් රාඡපක්ෂ හා නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ  මූලිකත්වයෙන්ද, මාතර ප්‍රදේශයේ පිළිගැනීම් ඩලස් අලහප්පෙරුම හා කංචන විජේසේකර මන්ත්‍රීවරුන්ගේ  මුලිකත්වයෙන්ද, ගාල්ලේ පිළිගැනීම් වෛද්‍ය රමේෂ් පතිරණ හා මොහාන් සිල්වා මන්ත්‍රීවරුන්ගේ මූලිකත්ත්වයන්ද  පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

(සුජිත් හේවාපුලිගේ)