ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ අසාධාරණයට ලක්වූ තම සාමාජිකයින් වෙනුවෙන් නීතිය හමුවට යන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
අද පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි  කාර්යාලයේ පැවති පැවති මාධ්‍ය හමුවකදී සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මෙසේ කියා සිටියේය.

2015 වසරේ යහපාලන රජය පිහිටුවන අවස්ථාවේදී වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් පසුගිය රජයට එල්ල කළ අසත්‍ය චෝදනා සම්බන්ධයෙන් ඉදිරි රජයක් යටතේ දී බරපතළ වන්දියක් ඉල්ලා  සාමාන්‍ය නීතිය යටතේ නඩු පවරනවා. පසුගිය රජයේ සාමාජිකයින්ට එල්ල කළ බරපතළ චෝදනා
සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක  පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට වත්මන් රජයේ පාර්ශවකරුවන් සමත් වී නැත.
මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධාන පරිපාලන නිලධාරී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව ගොනුකළ නඩුව තෝරාගත් නඩුවක් වශයෙන් විශේෂ අධිකරණයකදී විභාගයට ගත් නමුත් ඔහුට එල්ල කල චෝදනා විසිහතරෙන්ම නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය පියවර ගනු ලැබීය.
කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී   ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා මාස හයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියද ඔහුට එරෙහිව අවම සාක්ෂියක් හෝ උසාවියට ඉදිරිපත් කිරීමට පැමිණිලිකරුවන්  සමත් වූයේ නැත.
මෙවැනිම නඩු කටයුතු විශාල සංඛ්‍යාවක් පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වාගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැත.
මෙම තත්ත්වය තුළ අසත්‍ය චෝදනා වලට ලක් වූ පුද්ගලයින්ගේ දරුවන් සහ  ඔවුන්ගේ පවුලේ අය බරපතළ පීඩනයකට ලක්ව ඇති බැවින් එම කරුණු අමතක කිරීමට තම පක්ෂය කිසිසේත්ම සූදානම් නොමැති අතර විශාල වන්දියක් ඉල්ලා ඉදිරියේ දී පිහිට වන අප රජය යටතේ නඩු පවරනු ඇත.