මැදිරිගිරිය,රත්මලාන ප්‍රදේශයේ ඊයේ (20දා)  අඹු සැමියන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලක්  දුරදිග යෑමෙන්  බිරියව පිහියෙන් කපා ඝාතනය කර සැමියාත් වස පානය කර මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ  අංක 145 රත්මල්යායේ කහඹිළියාවේ, පදිංචිව සිටි නාරංගැටේගෙදර මංජුලා
කුමාරි  නමැති 42 හැවිරිදි කාන්තාවකි. " මෙම අඹු සැමියන් දෙදෙනා අතර දින දෙකක් පමණ ආරවුලක් පැවැති අතර පසුව එම කාන්තාව අසල්වාසී නිවසක රාත්‍රිය ගතකර ඊයේ (20දා) උදෑසන නිවසින් එළියට පැමිණි අවස්ථාවේදී සැමියා පිහියකින් කපා කොටා ඇය ඝාතනය කර ඇතැයි පොලිසිය කළ මුලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය වූ අවස්ථාවේදී බරපතළ තුවාල ලැබූ කාන්තාව මදිරිගිරිය මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී මියගොස් තිබේ.

ඝාතනය කළ අයගේ ස්වාමියා නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කහඹිලියාව ඔය ආසන්නයේ අඹේපුස්ස මංකඩ අසල වෙල්යායට ගොස් වස පානය කර දිවි හානිකර ගෙන වැටී සිටියදී ගම්වාසීන් පොලීසියට දැනුම්දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට ගොස්  පරික්ෂා කිරීමේදී මෙසේ දිවි නසාගෙන ඇත්තේ බිරිය ඝාතනය කළ දුනුකේබැද්දේ ගෙදර කරුණාරත්න බණ්ඩා නමැති අය බවට හඳුනාගත් බවට පොලිසිය කියයි.

මියගිය අඹුසැමි යුවලට වයස අවුරුදු 18ක පිරිමි දරුවකු සහ වයස අවුරුදු 9ක ගැහැනු දරුවකු සිටින බව පොලිසිය කියයි. මෙම මරණය පිළිබඳව පරික්ෂණ කටයුතු හිඟුරක්ගොඩ  දිසා අධිකරණයේ මහෙස්ත්‍රාත් සනත් නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිරීමට නියමිත බව මැදිරිගිරිය පොලිසිය පැවසීය.

උතුරු මැද පළාත් නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති නන්දන මුණසිංහ මහතා සහ පොළොන්නරුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති සෙනරත් සපුගහවත්ත යන මහත්වරුන්ගේ නියෝග පරිදි පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.පී.ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි හබරණ - මැදිරිගිරිය ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත රත්නපාල මහතාගේ අධීක්ෂණයෙන් මැදිරිගිරිය  පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පිටිගල මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

හිගුරක්ගොඩ - ප්‍රියා
පොළොන්නරුව - අනුරාධ විශ්වනාත්