රටේ බොහෝ අවශ්‍යතා ඉටුකිරීමට තිබියදී කෝටි ගානක් වැයකරමින් පාර්ලිමේත්තුවේ මන්ත්‍රීවරුන් ගැවසෙන සීමාවේ කැමරා පද්ධතියක් සවිකරමින් තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය. මන්ත්‍රීවරුන්ගේ කතාබහ පටිගත කිරීම සඳහා මෙම කැමරා
සවිකරන බවට මන්ත්‍රීවරුන් තුළ සැකයක් ඇති වී තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද අමරවීර මහතා,

"කෝටි ගානක් වියදම් කරලා පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ කැමරා පද්ධතියක් හයිකරන්න යනවා. අපි ඉන්න පැත්තේ මොකද්ද මේ කැමරා දාලා කරන්න යන්නේ? අලුතෙන් වයරින් කරගෙන යනවා. කොහෙද මේවට සල්ලි? මොකද මේකේ අවශ්‍යතාව. මන්ත්‍රීවරුන්ට සැකයක් ඇති වී තිබෙනවා කාටද මන්ත්‍රීවරුන් දිහා බලන්න ඕනවෙලා තියෙන්නේ කියලා. ආරංචියේ හැටියට නයිටිවිෂන් කැමරා හයිකරනවා, කට්ටිය කියනවා නයිටි
විෂන් කැමරා නිසා තමන්ගේ රූපේ පෙන්නේ නැහැ කියලා.

ඒක ඇත්තද කියලා පරික්ෂා කරන්න ඕන. මොකටද මේක වටේට කැමරා හයිකරන්නේ? පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට පාර්ලිමේන්තුවෙන් පිට කැමරා හයිකරන්න. වැසිකිළියට යන තැනුත් හැම තැනම කැමරා හයිකරලා. කාන්තා වැසිකිළියටයි පිරිමි වැසිකිළියටයි එකම දොරෙන් ඇතුළු වෙන්න තියෙන්නේ. සමහර වෙලාවට කාත්තාවෝත් යනවා පිරිමි අයත් යනවා.  ඒතනට මොකටද කැමරා හයිකරන්නේ මේවා සඳහා කෝටි ගණන් සල්ලි නාස්ති කරලා මේ දවස්වල රෑ වෙනකම් වැඩ. මොකද්ද බලගන්න තියෙන්නේ?

මන්ත්‍රීවරුන් කතා කරන දේවල් රෙකෝඩ් වේවි. ලොබියේ කතා කරකර ඉන්න දේවල් රෙකෝඩ් කරන්න කැමරා හයිකරනවා කියලා ආරංචි වෙනවා, මීට වැඩිය කොච්චර වැඩ මේ රටේ කරන්න තියෙනවද? තවම ජනතාවගේ නියං සහනාධාරය නැහැ. දුප්පත් මිනිස්සුන්ට අවශ්‍යතා ඉටුකර ගන්න සල්ලි නැහැ. වෙලාවට සහනාධාර ලැබෙන්නේ නෑ. පඩිය ගෙවාගන්න තරම් සල්ලිත් නැහැ.

රජයේ අතවශ්‍ය දේවල්වලට සල්ලි නැති වෙලාවේ මේ අනවශ්‍ය දේලට ඇයි මුදල් වියදම් කරන්නේ පාර්ලිමේන්තුවේ ආරක්‍ෂාවට වෙනම වැඩපිළිවෙළක් තියෙනවා. මා දන්නා පරිදි කිසිම අවශ්‍යතාවක් නැහැ කැමරා හයිකරලා කෝටි ගානක් වියදම් කරන්න. ඒ සඳහා සොයා බැලීමක් කරලා එහි අවශ්‍යතාවත්, එයට වැයවන මුදලත් පිළිබඳ සංඛ්‍යා විස්තර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස මූලාසනයෙන් ඉල්ලා සිටිනවා" යනුවෙන් පවසා සිටියේය.

-අමිත් මධුරංග-