https://www.gossiplankanews.com/2019/08/cuingum-gold-robbery.html#more
චුයින්ගම් හපමින් රන් ආභරණ වෙළෙඳසලට ගොස් කරාබු ජෝඩු දෙකක් චුයින්ගම් එකේ ඔතා කටේ දමාගෙන ගිය අඹු සැමි යුවළක් සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කළුතර දිසා අපරාධ ඒකකය සමත් විය. මෙසේ අත්අඩංගුවට පත්වූයේ කළුතර උතුර, පන්සල පාරේ පදිංචි 29 සහ 21 යන වයස්වල පසුවෙන අඹු සැමි යුවළකි.
දින කිහිපයකට ප්‍රථම කරාබු ජෝඩුවක් මිලදී ගැනීමට යැයි
කියමින් අඹුසැමි යුවළ කළුතර නගරයේ රන්
ආභරණ වෙළෙඳසලට ගොස් ඇති අතර ඔවුන් පැයකට ආසන්න කාලයක් රන් ආභරණ පරීක්ෂා කර පිටව ගොස් තිබේ.
ඔවුන් පිටව ගිය පසු එහි සේවකයෙක් කරාබු ප්‍රමාණය ගණන් බලා ඇති අතර එහිදී ජෝඩු දෙකක් අඩුවී ඇති
බව තහවුරු වී ඇත.


ඉන්පසු සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේදී එදින පැමිණෙන පිරිමි පුද්ගලයා චුයින්ගම් එකක් හපමින් පැමිණෙන
බවත් වෙළෙඳසලේ සේවකයන්ට හොර රහසේ ඔහු කරාබු ජෝඩු දෙකක් කටේ ඇති චුයින්ගම් එකේ ඔතා නැවත කටේ දමාගන්නා අයුරු පටිගත වී ඇති බව හෙළිවී තිබේ. මේ පිළිබඳ කරන ලද පැමිණිල්ලට අනුව පොලිස් පරීක්ෂක කරුණාරත්න ඇතුළු පොලිස් කණ්ඩායම දින හතරක් පමණ විමර්ශනය කිරීමෙන් පසු සීසීටීවී දර්ශනවල පටිගත වී සිටින අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. සොරකම් කරන ලද කරාබු ජෝඩු දෙක පෞද්ගලික උකස් ආයතන දෙකකට උකස් කර තිබියදී සොයාගත් බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මහාධිකරණයේ විභාග වන නඩුවක් පවතින අයකු බවට හෙළිවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පොතුපිටිය - සුමිත් රණවක