අධිකරණයේ නඩු ඇති පුද්ගලයන් සහ අපරාධ වැරදිවලට වරදකරුවන් වි ඇති පුද්ගලයන්ට ඉදිරි මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සහ අනිකුත් ආගමික ප්‍රධානීහු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිති. ශ්‍රී ලංකාවෙහි සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක්
උදා කරගැනීම සඳහා සුදුසුකම් ඇති මැතිවරණ අපේක්ෂකයන් තෝරාගැනීම සඳහා බුද්ධ ශාසන කාර්යසාධක මණ්ඩලයේ මූලිකත්වයෙන් ත්‍රෛනිකායික මහනායක හිමිවරුන්, අගරදගුරුතුමන් ඇතුළු ආගමික නායකයන්ගේ අත්සනින් යුතුව සකස් කළ නිදේශ මාලාවේ මේ බව ඇතුළත් කර ඇත.

එම නිර්දේශ ශ්‍රී ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ වෙත භාරදීම පෙරේදා (06දා)
බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය විසින් උත්සවාකාරයෙන් සිදු කෙරිණී.  එමෙන්ම මත්පැන් බලපත්‍ර, ඔට්ටු (සූදු)
හෝ කැසිනෝ බලපත්‍ර තමාගේ නමට  හෝ ඥාතීන්ගේ නමට ඇති පුද්ගලයන්ට අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙසටද මෙහිදී නිර්දේශ කර ඇත.

මානව සාරධර්ම සහ ගුණධර්ම, දේශීය සංස්කෘතිය සහ සභ්‍යත්වයට ගරු කරන, මනා චරිතයකින් හෙබි, විනයගරුක, නීතිගරුක පුද්ගලයන් වෙත අපේක්ෂකයා ලබාදෙන ලෙසත්, ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් මෙහිදී නිර්දේශ ලෙස ඉදිරිපත් කර තිබේ.‍

අපේක්ෂකයන් මැතිවරණ වෙනුවෙන් යොදවන මුදල් විගණනය කිරීම සහ වාර්තා කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසත්, පොදු දේපළ පරීහරණය තහනම් කිරීමට කටයුතු කරන ලෙසත් දේශපාලන පක්ෂවලින් ඉල්ලා ඇත. ශ්‍රී ලංකාවට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදා කරගැනීම උදෙසා බුද්ධශාසන කාර්යසාධක මණ්ඩලය ඉදිරිපත් කළ මෙම යෝජනාවලිය සඳහා මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්මබටුවාවේ සුමංගල නාහිමි, අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මදස්සි නාහිමි, අමරපුර නිකායේ මහනායක කොටුගොඩ ධම්මාවාස නාහිමි, රාමඤ්ඤ නිකායේ මහනායක නාපාන පේමසිරි නාහිමියන් මෙන්ම කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජීත්, ජමියාතුල් උලමා සභාවේ සභාපති මුෆ්ති රිස්වි, හින්දු සම්මේලන සභාපති වෛතීහ්වර කුරුක්කල් යන පූජකවරුද අත්සන් තබා ඇත.

-චාමර සම්පත්-