බුලත්සිංහල ගෝවින්න අක්කර 50 ප්‍රදේශයේ ලදු කැලෑවක තිබී පසුදින කාන්තාවකගේ මළසිරුරක් හමුවූ බව බුලත්සිංහල පොලීසිය පවසයි.හොරණ පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව බුලත්සිංහල පොලීසිය විසින් සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම මළසිරුර හමු වී ඇති අතර එය හොරණ රන්කොත්ගේ සේනානි චන්දි
මංගලිකා නම් තිස් හැවිරිදි විවාහක කාන්තාවකගේ බව වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මුණසිංහ මහතා පැවසීය.

මෙම කාන්තාව පසුගිය 21 වැනිදා නිවසින් අතුරුදන්ව ඇති අතර ඒ පිළිබඳ ඇගේ මව විසින් හොරණ පොලීසිය වෙත පැමිණිලි කර ඇත. ඉන්පසු මෙම කාන්තාව බුලත්සිංහල
අක්කර 50 ප්‍රදේශයේ පදිංචි සුබ්‍රමනියම් ශිවා හෙවත් දිගා නමැත්තෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවටද  අනාවරණිය වී ඇත.

මෙම කාන්තාවට දස හැවිදි දියණියක්ද සිටින බවත්, ඇය තම විවාහක සමියාගෙන් වෙන්ව ජීවත්ව ඇති බවත්, ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී මියගිය කාන්තාවගේ පෙම්වතා යැයි පවසන දමිළ ජාතිකයාගේ නිවස ආසන්නයේ බෝක්කුවක් අසළ තිබී ඇයගේ අත් බෑගය සහ ඇඳුම් වගයක් හමු වීමෙන් පසු පොලීසිය විසින් කොබවක ප්‍රදේශයේ කැලෑවක මුනින් අතට වැටී තිබුණු ඇගේ මළසිරුර සොයා ගත් බවද පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.‍

මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන සුබ්‍රමනියම් ශිවා හෙවත් දිගා යන අය ප්‍රදේශයන් පලා ගොස් ඇති නමුත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් දියත් කර ඇත. මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ 01දා සිදු කිරීමට නියමිතව ඇති අතර කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි උපුල් නිල්මිණි ආරියරත්න මහතා සහ මතුගම සහකාර පොලිස් අධිකාරී ජී.පී.එන් ජයසිරි මහතාගේ උපදෙස් මත බුලත්සිංහල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මුණසිංහ මහතා ඇතුළු පිරිස එහි අපරාධ අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වති.

-ධනුෂ්ක ලංකා නානායක්කාර-